මිලේනියම් ගිවිසුම ව්‍යවස්ථානුකූල බවට නීතිපතිගේ එකඟතාව

(කොළඹ, ලංකාපුවත්) –මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ යැයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන බැවින්, එම ගිවිසුම අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ඉකුත් සතියේ ලැබුණු බවද මුදල් ඇමැතිවරයා අවධාරණය කර සිටියි.

මේ අන්දමට ඇමැති මණ්ඩලයේත්, නීතිපතිවරයාගේත් අනුමැතිය හිමි වූ නව ගිවිසුම මාධ්‍ය වෙත ලබාදෙමින් මුදල් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වන මංගල සමරවීර මහතා මෙසේද කියා සිටියි. පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුමක් නොමැති ඇතැමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි පැවසුවද සනාථ නොකළ ලියවිල්ලක් පිළිබඳ උත්තරීතර පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකිය.

මෙම ගිවිසුම නීත්‍යානුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගත වෙනවා. ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වේ යැයි සිතන ඕනෑම පුරවැසියකුට එයට විරුද්ධව අධිකරණයට යාමේ හැකියාව පවතියි. දැනට නීතිපතිගේ එකඟතාව ලැබී ඇති බැවින් මෙම ගිවිසුමට අත්සන් තැබීමේ නීතිමය ගැටලු කිසිවක් නොමැත.

අමෙරිකාව සමඟ මෙම මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මේ මොහොතේ ඒ පිළිබඳ ජනතාව තුළ භීතිකාවක් මවන පුද්ගලයන් මෙමඟින් රටට හා ජනතාවට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් වේනම් වහා හෙළි කළ යුතු යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *