ඉන්දියාවේ වායු දූෂණයෙන් ලංකාව බැට කයි – කොළඹ කාබන් අංශු ප්‍රමාණයත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන මීදුම් වැනි වලාපටලය ඉන්දියාවේ පවතින වායු දූෂණයේ ප්‍රතිඵලයක් මත ඇතිවූවක්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනුෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය.

කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම තත්ත්වය වාර්තා වී තිබේ. මේ දිනවල ශ්‍රී ලංකාවට සුළං හමනුයේ ඉන්දිය අර්ධද්වීපය දෙසින් බැවින් මේ තත්ත්වය එහි ඇති වායු දූෂණයේ ප්‍රතිඵල මත ඇති වූවක් බවට සැක කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කෙසේ වෙතත් මෙහි භයානක තත්ත්වයක් නොමැති බවත් ඊයේ (06) පස්වරුවේ සිට සුළං හමන දිශාව නිරිත දෙසට මාරු වූ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන්දියාවේ නව දිල්ලි නුවර වායු දූෂණය උග්‍ර වී ඇති අතර එය මේ වන විට සෙසු ප්‍රදේශ කරා පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය කීවේය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ යෑම නිසා එය මෙරට වායු ගෝලයේ කාබන් අංශු ප්‍රමාණය වැඩි වීමට බලපා ඇති බවයි. ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක්ද එම නගරය ආශ්‍රිතව ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත. එසේම පසුගිය දින කිහිපය තුළ කොළඹ නගරයේ වායු දූෂණ අගය වැඩි වී ඇති අතර පෙරේදා (5) දිනය තුළ එය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය පෙරේදා (05) දහවල් කාලය වන විට මයික්‍රොග්‍රෑම් 70 දක්වා කොළඹ නගරයේ ඉහළ ගොස් තිබේ. එමෙන්ම මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සුළං හමා ඒමේ දිශාව වෙනස් වීමයි. මේ හේතුවෙන් ඉන්දියාවේ සිට මෙම ධුලි වලාව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන්නට ඇති බව ඒ මහතා සඳහන් කළේය. ඉන්දියාවේ පවතින වායු දූෂණයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වල ඉහළ වාතයේ දූවිලි අංශු වැඩි වීම නිසා ශ්වසන රෝග ඇති පුද්ගලයින් ප්‍රවේශම් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම පළාත්වල මහජනතාවට අනතුරු අඟවා ඇති බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් සඳහන් කර සිටියේය. එසේම මේ දිනවල උතුරු පළාතේද දැඩි මීදුම් තත්ත්වයක් දක්නට ලැබෙන බව වාර්තා වේ. ඒ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට සහ කෘෂිකාර්මික කටයුතුවලට බාධා එල්ල වී ඇති බව උතුරු පළාතේ ජනතාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *