ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන 16වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන අවසන් ප්‍රචාරක රැළිය මරදාන ටවර් හෝල් රඟහල අසලදීද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසන් රැළිය හෝමාගම දී සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් රැළිය අලුත්ගම දර්ගා නගරයේ දී අද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් සංවිධානය කරන ජනරැළි මොණරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල සහ කළුතර නගරවල පැවැත්වෙන ජන රැළිවලටද ඒ මහතා සහභාගි වන අතර ගාල්ල සහ කළුතර ජනරැළිවලට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වෙන ජනරැළි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර “සාර්ථක දැක්මක් – වැඩකරන රටක්“ යන්න තේමාව යටතේ එම රැළි පැවැත්වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන ජනරැළි කිහිපයක් කළුතර, ගාල්ල, මාතර, තිස්සමහාරාමය සහ කැස්බෑව යන ප්‍රදේශයන්හිද පැවැත්වෙන අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන තවත් ජනරැළි කිහිපයක් ගාල්ල සහ මහරගම දී පැවැත්වීමට සැලසුම්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *