සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේ දී නොයෙකුත් බොරු අවලාද,අපහාස කිරීමට ඉඩ ඇති නමුත් අභූත චෝදනාවලට නොරැවටී පොහොට්ටුව ඉදිරියේ ඡන්දය භාවිත කොට විජයග්‍රහණයට සැරසෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනතාව තමන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ යුතුකම ඉටුකළ පසු සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් දේශයක් බිහිකිරීමෙහිලා තම යුතුකම ඉටුකිරීමට සූදානම් යැයි ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහී අවසන් ජනරැලියට කැස්බෑවේ දී ඊයේ (13) එක්වෙමිනි. ​ ​සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව ඔස්සේ සංවිධාන කර තිබුණු එම ජනරැලිය අමතමින් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

බොරු අවලාද අපහාස ගෙන එයි. ඔබ බුද්ධිමත් ජනතාවක්. ඒ අභූත චෝදනාවලට රැවටෙන්නේ නැතිව පොහොට්ටුවට ඡන්දය භාවිත කරන්නයි අපි ඉල්ලා සිටිනවා. ඉතා පිරිසුදු මැතිවරණ ප්‍රචාරයක යි අපි යෙදුනේ. අපේ ජය අපිට සහතිකයි. ජයග්‍රහණය සාමකාමිව භුක්ති විදින්න. අපි මේ රට නඟන රට හදන වැඩපිළීවෙළ ඔබට ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි හැදුවේ මේ රටේ ඉන්න වෘත්තිකයන් බුද්ධිමතුන් ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කරලා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් විදියටයි. ඒ සමඟම ගම සමඟ පිළිසඳරක් යටතේ ඔබේ අදහස් ගෙන ඒවාත් මේ වැඩපිළිවෙළ එකතු කර තිබෙනවා. මේ ප්‍රායෝගික වැඩපිළිවෙළේ තිබෙන සෑම කරුණක්ම අපේ ධූරකාලයේ අවසන් කරනවා.

කඩා වැටුණු ආර්ථිකය ගොඩනගන්න ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කර තිබෙන්නේ. කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය කඩා වැටිලා. අපි දේශිය වැවිලිකරුවා ගොඩ නැංවිම සඳහා කිසිදු වැවිලි බෝගයක් මෙරටට ගෙන්වන්න දෙන්නේ නැහැ. අපේ රජයක් යටතේ දේශිය කර්මාන්තකරුවා දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරගන්නවා. ඒකටයි අපි පැහැදිලි බදු ක්‍රමයක් හදුන්වා දී තිබෙන්නෙ. මේ සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. අපි අනවශ්‍ය බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් ඉවත් කරලා තියෙනවා. වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරලා ආර්ථිකය ඉදිරියට ගෙන යන ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කර තිබෙනවා. අද මේ රටේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය නැති නිසා සංචාරක ක්ෂේත්‍රය කඩා වැටිලා.

අද ඉන්දියාවේ සිට චීනය දක්වා විශාල මධ්‍යම පන්තියක් ඇති වෙලා තිබෙනවා. ඒ සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන්නත් ආගමන විගමන ක්‍රමවේද පහසු කරන්නත් අවශ්‍යයි. ඒ වගේම ආසියාවේ ආර්ථීකය තාක්ෂණය මුල්ව දියුණු වෙලා තියෙන්නේ. අපි තරුණ තරුණයන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය පරිගණක තාක්ෂණය හරහා විශාල වශයෙන් රැකියා උත්පාදනය කරනවා. මේ ක්ෂේත්‍රයේ රැකියා ගන්න උපාධි අවශ්‍ය නැහැ. අපි කෙටි කාලයක් තුළ තරුණයා මේ සඳහා පුරුදුකර, ආර්ථිකයට සරිලන රැකියා සඳහා අවස්ථා ලබා දිය යුතුයි.

ඒ වගේම විනයගරුක, නීතිගරුක ගුණගරුක සමාජයක් අපි ඇති කරනවා. අපි හැමදාමත් අභියෝග භාරගත්ත කණ්ඩායමක්. අපි භාරගත්ත සෑම වගකීමක්ම අපි ඉටු කළා. ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණු වන නගරය බවට කොළඹ නගරය පත්කරන්න මට පුළුවන් වුණා. කොළඹ දුප්පත් පැල්පත් වාසින් වෙනුවෙන් මහල් නිවාස ඒකක 20000ක් හැදුවා.

විපක්ෂ නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා –

ජනාධිපතිවරණය කියන්නේ රට පාලනය කරන්න දර්ශනයක් තියෙන දැක්මක් තියෙන නායකයකු තෝරා ගන්න මැතිවරණයක් මිස ජනාධිපති මන්දිරයට කවටයකු තෝරා ගන්න මැතිවරණයක් නෙවෙයි. පාස්කු ප්‍රහාර එල්ල වුණා, කුණු කඳු නාය ගියා, ගංවතුර ආවා, අනුරාධපුරයේ කන්න හතරක් පාලු වුණා. ගංවතුරට අහුවුණ අයට ඇමැතිගේ නම ගහලා ඇඹුල් කෙහෙල් ගෙඩියක් නම් දිලා තිබුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු ඇවිත් එක විවාදයකට ආවේ නැහැ. දැන් මැදමුලෙනෙන් කාවහරි විවාදයට එවන්නලු.

රටක් පාලනය කරන්න බැරිව විනාශ කළා. 16 වැනිදාට අපිට යුතුකමක් ඉටු කරන්න තියෙනවා. මොකක්ද යුතුකම. මොකක් ඉදිරියෙන්ද කතිරය ගහන්නේ. පොහොට්ටුව ඉදිරියෙන්. අවසාන රැස්වීමේ ඔබ දක්වන මේ සහායත් අපි අගය කරනවා. ගෞරවණීය මහා සංඝරත්නය අපේ වේදිකාවට ඇවිත් අපිට ආහිර්වාද කළා. අපේ ආරක්ෂාව ආපු හමුදා නිලධාරීන් පොලිසිය, වගේම මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු සියලුදෙනාටත් ජවය දුන්න ජනතාවටත් අපේ ස්තූතිය හා ගෞරවය පුද කරනවා. පොහොට්ටුවට ජය වේවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණූගම මහතා – කන්ද උඩරටත් අද මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එකතු වෙලයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි දකුණ සබරගමුව, කුරුණෑගල පුත්තලම, ගම්පහ සැම තැනකින්ම එන්නේ එකම පණිවිඩයයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මාස දෙකකට පෙර තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රදානය කරපු අවස්ථාවේ සාමකාමී, පොලිතින් නැති, අදහස්වල තරගයක් තියන්න කිව්වා. අද මොනතරම් හොඳ සාමකාමි ජන්ද ව්‍යාපාරයක්ද බලන්න දියත් වුණේ. රටේ ජනතාවට අගෞරව වෙන කිසිවක් මේ ඡන්දයේදි වුණේ නැහැ. මේ වාගේ සාමකාමී ඡන්දයක් ආසියවේම පැවැත්වුනේ නැති බවයි විදේශිය නිරික්ෂකයන් කියන්නෙ. එහි ගෞරවය හිමි වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා- ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල කියන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබෙන්නේ මේ ඓතිහාසික කැස්බෑවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි – සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කඳවුර පිටිපස්සේ ඉන්නේ බොරු කාරයෝ. ජනාධිපති වුණත් ඔය විදියටයි ඇත්ත නැත්ත හොයලා බලන්නේ නැතිව තමයි වැඩ කරන්නේ. පරිසර වාර්තා නැතිව රටේ ඉඩම් ඕනේ ඕනේ විදයට විකුණගෙන කන්නේ අම්මා අප්පාගේ බූදලය කියලා හිතලයි . මේ රට විපතක තියෙන්නේ. රට ගොඩගන්න පුළුවන් නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා විතරයි. සහරාන්ලාගේ ඉතුරු ටික විනාශ කරන්න පුළුවන්, රට එක ජාතික සමගියකට ගේන්න පුළුවන් නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා- මේ රටේ දරුවෝ මවුවරු ඉල්ලන්නේ ජාතික ආරක්ෂාවයි.ජාතික ආරක්ෂාව සැලසුවොත් විතරයි ආර්ථීකය හරිගස්වන්න පුළුවන් වෙන්නේ. රොයිටර් එක කියනවා හින්දු පත්තරය කියනවා ජනාධිපතිවරණය දිනන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා. ඒ ප්‍රවෘත්ති එක දෙක එනකොට කොටස් වෙළෙඳපොළත් ඉහළ නගිනවා. යුද්ධය කරන අතරේ 7.5% වේගයකින් ආර්ථීකය වර්ධනය කරපු මහින්ද රාජපක්ෂ මහතායි, වසර දෙකහමාරකින් යුද්ධය අවසන් කරලා, කොළඹ නගරය ලස්සන කරපු නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා – මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගේන්න ජනතාව දුන්න සහාය අපිට මතකයි.නුගේගොඩ මහින්ද සුළඟත් එක්ක එකතු වෙලා මේ වසර හතරක කාලය පුරා ඔබ අපිත් එක්ක හිටියා. කැස්බෑව ආසනයේ සියලුම ආසන මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත් නායකයෙක් පත් කිරීම සඳහායි ඔබ කැප වුණේ.

ඒ දුෂ්කර ගමනේ තවත් දින තුනයි අපිට තියෙන්නේ. අපේ මන්ත්‍රීවරු හිරේ ගියා. බැසිල් රාජපක්ෂ මහතාට ගෞරව කරන්න ඕනේ. අපේ අයට ඉන්න මේ වගේ නිවහනක් හදලා දුන්න එක ගැන. ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරවන්න ඔබ දෙන සහාය අපි කිසිම දවසක අමතක කරන්නේ නැහැ.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා- ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාරගන්නේ පොදුජන පෙරමුණ විදියටයි. මේ පොදුජන පෙරමුණේ ආරම්භය මහින්ද සුළඟයි. ඔබේ ආදරණිය නායක ගාමිණි ලොකුගේ තමයි මහින්ද සුළග අරඹන්න උදව් වුණේ.

ලංකා සමසමාජපක්ෂයේ නායක මහචාර්ය තිස්ස විතාරණ මහතාද රැස්වීම ඇමතීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *