හරියටම ඡන්දෙ දාන්නෙ මෙහෙමයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණවලින් හෙට (16දා) පැවැත්වෙන්නේ මෙරට මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී වූ ජනාධිපතිවරණයකි. විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් එනම්, අපේක්ෂකයන් 35 දෙනකු තරග වදින මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයාට ලැබෙන ඡන්ද පත්‍රිකාව ඓතිහාසික එකකි. ඒ එහි දිග නිසාය. අඩි දෙකක් දිග මෙවර ඡන්ද පත්‍රිකාව මෙරට මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් නිකුත්වන දිගම ඡන්ද පත්‍රිකාවයි.

එම විශාල ඡන්ද පත්‍රිකාව හේතුවෙන් මෙවර ඡන්දය පැවැත්වීමේ පටිපාටිය තුළ විවිධ වෙනස්කම් සිදුකරන්නට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවිය. ඡන්ද පත්‍රිකාව දිගු වීම හේතුවෙන් සිය අපේක්ෂකයාට අයත් ඡන්ද ලකුණ තෝරා ගන්නට ඡන්ද දායකයාට වැඩි කාලයක් ඡන්ද මධ්‍යස්ථානය තුළ ගත කරන්නට සිදුවේවි යන උපකල්පන මත පිහිටා ඡන්දය දමන කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ලැබුවේ ඒ නිසාය. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී දිවයින පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන වෙනදාට වඩා පැයක වැඩිපුර කාලයක් එනම් උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිත කිරීම සඳහා විවෘතව තැබේ.

මෙවර ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය (15,992,096) දෙනකු සුදුසුකම් ලබා තිබෙන අතර ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,845ක් ස්ථාපිත කර ඇත.

හෙට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැඟිලි සහ පාසල් පරිශ්‍ර යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කරන ලද ඉල්ලීමට අනුව අද (15දා) දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය, රැගෙන යා යුතු ලේඛන මෙන්ම පිළිපැදිය යුතු නීතිරීති පිළිබඳ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත් තොරතුරු සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් නිවේදන සහ විශේෂ මාධ්‍ය හමු ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කෙරිණ.

එම දැනුවත් කිරීම් අනුව ඡන්දය භාවිත කිරීමේදී සිය අනන්‍යතාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඡන්දය ලබාදීම සඳහා ඡන්ද පොළට පැමිණෙන සෑම ඡන්ද දායකයකුම ස්වකීය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඡායාරූපය සහිත හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද අනන්‍යතා සහතික ලෙස ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත සහ පූජ්‍ය පක්ෂයට අදාළ හැඳුනුම්පත හැඳින්විය හැකිය.

ඉහත කී ආකාරයේ හැඳුනුම්පතක් නොමැති නම් එම පුද්ගලයන් තාවකාලික නැතිනම් විශේෂ හැඳුනුම්පතක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනය කර ඇති නිර්දේශ අනුව ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හමුවී එම තාවකාලික/ විශේෂ හැඳුනුම්පත ලබාගත හැකිය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත හැඳුනුම්පත් ලබාගැනීමට ඉදිරිපත් කළ අයකු නම් හැඳුනුම්පතේ තොරතුරු සනාථ කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ඡායාරූපය සහිත ලිපිය අනන්‍යතාව සහතික කිරීමේ ලියවිල්ලක් ලෙස පිළිගැනේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යෑම අනිවාර්යද යන්න ඇතැම් ඡන්ද දායකයකුට ගැටලුවක් විය හැකිය. තැපෑලෙන් නිවසට ලැබෙන එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයට ගෙනයෑම අනිවාර්ය නොවන නමුත් එය රැගෙන යෑම ඡන්ද දායකයාට මෙන්ම ඡන්ද පොළේ නිලධාරීන්ටද සිය රාජකාරිය ඉටු කිරීමට වඩා පහසුවක් සලසයි. එම නිසා එය ගෙනයෑම ප්‍රයෝජනවත්ය.

ඡන්දය භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු පියවරද සැකෙවින් මෙසේ දැක්විය හැකිය. ඡන්ද පොළට ඇතුළු වන පුද්ගලයකුට එහි එක් පසෙක සිටින නිලධාරීන් හතර දෙනකු දක්නට ලැබේ. ඉන් පළමුව සිටින නිලධාරියා ඡන්ද දායකයා රැගෙන එන අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛනය පරීක්ෂා කර බලා එහි ඇති ඡායාරූපය සහ පුද්ගලයාගේ මුහුණ හා ස්වරූපය ගැළපේ නම් දෙවැනි නිලධාරියා වෙත යොමු කරනු ලබයි. තුන්වැනි නිලධාරියා ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල පරීක්ෂා කර එම ඇඟිල්ල වටා තීන්ත ආලේපනය කරනු ඇත. කිසියම් හේතුවක් මත එසේ තීන්ත ආලේපනය කිරීමට එකඟ නොවන පුද්ගලයකුට ඡන්දය භාවිත කිරීමට ඉඩදෙනු නොලැබේ. ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීමෙන් පසු හතරවැනි නිලධාරියා වෙත යොමු විය යුතු අතර ඔහු හෝ ඇය ඡන්ද දායකයාට ඡන්ද පත්‍රිකාවක් ලබා දෙනු ඇත.

එය රැගෙන ආවරණය කළ කුටිය තුළට ගොස් සිය ඡන්දය ලකුණු කළ හැකිය.

නිවැරදි ලෙස ඡන්දය ලකුණු කිරීම ඉතා වැදගත් වන අතර ඡන්දයක් වලංගු වීම සඳහා එහි නිවැරදි සලකුණු යෙදිය යුතුය.

තමන් ඡන්දය ලබා දෙන්නේ එක් අපේක්ෂකයකුට පමණක් නම් අදාළ අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියේ 1 ඉලක්කම හෝ X සලකුණ ලකුණු කිරීම ප්‍රමාණවත්ය.

තම ඡන්දය අපේක්ෂකයන් දෙදෙනකුට හෝ තිදෙනකුට ලබාදීමේ හැකියාවද තිබෙන නමුත් එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබේ. දෙදෙනකුට පමණක් ඡන්දය ලබා දෙන්නේ නම් අදාළ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිළිවෙළින් 1, 2 යනුවෙන් සටහන් කළ යුතුය.

තිදෙනකුට ඡන්දය ලබා දෙන්නේ නම් අදාළ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිළිවෙළින් 1, 2, 3 ලෙස සටහන් කිරීමෙන් ඒවා වලංගු ඡන්ද බවට පත් වේ.

එසේ නිසි ක්‍රමවේදයෙන් බැහැරව ලකුණු කරන ඡන්ද අවලංගු ඡන්ද බවට පත්වේ. එසේ ඡන්දය අවලංගු විය හැකි අවස්ථා පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද දායකයා මැනවින් දැනුවත් කර තිබේ. ඒ අනුව, ඡන්ද පත්‍රිකාවේ කතිර ලකුණු (X) එකකට වැඩියෙන් සටහන් කර තිබීම, ඡන්ද පත්‍රිකාවේ කතිර ලකුණ සටහන් කර දෙවැනි සහ තුන්වැනි මනාප සඳහා ඉලක්කම් යොදා ගැනීම, ඡන්ද පත්‍රිකාවේ පළමු අපේක්ෂකයාට 1 ලකුණ සඳහන් කර අනෙකුත් අපේක්ෂකයන් සඳහා කතිර ලකුණු යෙදීම සහ වෙනත් කිසියම් සලකුණු භාවිත කිරීම ඡන්දයක් අවලංගු වීමට බලපාන හේතු වේ.

නිසි පරිදි ඡන්දය ලකුණු කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකාව හොඳින් දෙකට නමා අවැසි නම් හතරටද නමා ශාලාවේ ඇති ඡන්ද පෙට්ටියට දැමිය යුතුය.

යම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමේදී කිසියම් වරදක් සිදුවුවහොත් අමතර ඡන්ද පත්‍රිකාවක් ලබාගත හැකිද යන්නද ඇතැම් අයකුට ප්‍රශ්නයක් විය හැකිය.

තමන් කැමැත්තෙන් සිටි අපේක්ෂකයා වෙනුවට අත්වැරදීමකින් වෙනත් අපේක්ෂකයකු ඉදිරියේ ඡන්දය ලකුණු කළ බව යම් ඡන්ද දායකයකු පැවසුවහොත් ඔහු හෝ ඇයට අමතර ඡන්ද පත්‍රිකාවක් ලබාදීමට මධ්‍යස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයාට කිසිඳු බලයක් හිමි නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එහෙත් ” අනවධානය නිසා සිදුවන අත්වැරදීම්” සඳහා පමණක් තවත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයාට බලය ඇති බව සභාපතිවරයා පැවසීය. එනම් යම් හෙයකින් ඡන්ද දායකයාගේ වම් අතේ සුලැඟිල්ලේ සලකුණු කෙරෙන තීන්ත ඔහුගේ ඡන්ද පත්‍රිකාවේ ගැවුණු අවස්ථාවකදී සහ ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමීමේදී ඉරී ගිය අවස්ථාවකදී තවත් අලුත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කෙරෙනු ඇත.

ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් විශේෂ ඡන්ද දායකයන් ලෙස සැලකේ. දෑස් පෙනෙන, ඡන්ද පත්‍රිකාව ලකුණු කිරීමට හැකියාවක් ඇති නමුත් ඡන්දය ලකුණු කිරීමේ ආකාරය නොදන්නා කෙනෙකුට ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපති හෝ ඔහු වෙනුවට වෙනත් නිලධාරියකු විසින් ඡන්ද පත්‍රිකාවක් ලකුණු කරන ආකාරය පමණක් විස්තර කර දෙනු ලැබේ. නමුත් දෘෂ්ටි ආබාධයකින් හෝ ශාරීරික ආබාධයක් නිසා ඡන්ද පත්‍රිකාව තමා විසින්ම ලකුණු කිරීමට නොහැකි පුද්ගලයන්ට ඔහුගේ හෝ ඇයගේ සහාය සඳහා වෙනත් අයකු කැටුව ඒමට අවස්ථාව තිබේ. නමුත් එවැනි ඡන්ද දායකයන් තමා අයත් වසමේ ග්‍රාම නිලධාරියා සහ රජයේ වෛද්‍ය නිලධාරියකු විසින් සහතික කරන ලද සහතිකයක් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ආ යුතුය. එසේ නියමිත පරිදි අනන්‍යතාව සනාථ කිරීමෙන් අනතුරුව ඡන්ද හිමියාගේ සහායකයාට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සහ මැතිවරණ කාර්ය මණ්ඩලයේ තවත් සමාජිකයකු ඉදිරිපිට ඡන්ද කුටිය තුළදී අදාළ ඡන්ද දායකයා වෙනුවෙන් ඔහුගේ ඡන්දය සලකුණු කළ හැකිය.

ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සහතික කර තිබේද යන්න පිළිබඳ දැනගැනීමටද ඡන්ද දායකයාට අයිතියක් තිබේ. දිවයින පුරා ස්ථාපිත කරන සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සහ ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවත් ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ට බලපෑම් කිරීමට හෝ යම් කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය. මීට අමතරව ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් 16 සහ 17 දෙදින වසා තැබෙන බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේය.

තැපැල් ඡන්ද ගණන් කිරීම 16 වැනිදා සවස 5න් පසුව ආරම්භ කරන අතර තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් හෝ කොට්ඨාසයක ප්‍රතිඵලයක් එදින මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධ සියලු ප්‍රචාරක කටයුතු පෙරේදා(13දා) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වූ බැවින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් වන තුරු දක්වා වන නිහඬ කාලය තුළ අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ ආගමික වතාවත් හෝ සිදුකළ නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

මෙවර ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටි 750කට අධික බැවින් එතරම් විශාල මුදලක් දරා පවත්වනු ලබන මැතිවරණය සාධාරණ සහ සාමකාමී එකක් බවට පත්කර ගැනීම සෑම පුරවැසියකුගේම වගකීම බවද සිහිපත් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *