ඖෂධ හිඟයක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහල් කිහිපයක ඖෂධ හිඟයක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සම්බන්ධ වෛද්‍යවරුන් කිහිපදෙනකු විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් ගෙන යන එම අසත්‍ය ප්‍රචාරය දේශපාලන වුවමනාවක් මත සංවිධානාත්මකව සිදු කරන්නක් බව අපි අවධාරණය කර සිටින්නෙමු. මේ පිළිබඳ වාර්තාවූ වහාම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය රූමි මොහොමඩ්, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන යන මහත්වරුන් සහ අමාත්‍යංශ බලධාරීන් රැසක් එක්ව සිටියහ.

ජනාධිපතිවරණය සඳහා පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන මොහොතක රජය අපහසුතාවට පත් කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් මෙම ඖෂධ හිඟය මැවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිප දෙනෙකු විසින් අමානුෂික උත්සාහයක නිරත වන වෙමින් සිටියි. ඒ සදහා සූක්ෂමව සූදානම් කළ සැළසුමක් මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම අරඹා ඇත. ඖෂධ හිඟය පිළිබඳ ප්‍රසිද්ධ කෙරෙන එම සැලසුම්සහගත වාර්තා සියල්ල සම්පූර්ණයෙන්ම සාවද්‍ය වන අතර වහාම මෙම අමානුෂික දේශපාලන ප්‍රචාරණය නවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි. ලබන වසරේ අප්‍රේල් මස දක්වා මෙරට සියලු රෝහල් සඳහා අවශ්‍ය වන ඖෂධ තොග මේ වන විට ජාතික සංචිතය තුළ ගබඩා කර ඇත. පවතින සුළු ඖෂධ හිඟය ද සැලසුම් කළ පරිදි දින දෙකක් තුළ අවසන් කිරීමට නියමිතයි. එම නිසා ඖෂධ හිඟය පිළිබඳ කිසිදු චෝදනාවක් සිදු නොකරන ලෙසත් එයින් අපහසුතාවට පත් වන්නේ අහිංසක රෝගී ජනතාව බවත් සදහන් කළ යුතුය. මෙරට කිසිදු රෝගියෙක් හෝ එම ප්‍රචාරයන් විශ්වාස නොකරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. මෙරට සියලු රෝහල් මගින් සියලුම ඖෂධයන් නිකුත් කෙරෙමින් ඇත. එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා කොළඹ හා මහනුවර ජාතික රෝහල් සදහා රුපියල් මිලියන 50ක මුදලක් සහ අනෙකුත් ප්‍රාදේශීය රෝහල් සඳහා රුපියල් මිලියන 10ක මුදලක්ද අමාත්‍යංශය මගින් නිකුත් කර ඇත. එම මුදල් මගින් අත්‍යවශ්‍ය අවස්ථාවන්වලදී කිසිදු රෝගියෙකු අපහසුතාවට පත් නොකර ප්‍රාදේශීයව ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමටද බලය ඒ ඒ රෝහල් අධ්‍යක්ෂවරුන්ට හිමිව තිබේ. අනෙකුත් ප්‍රතිපාදනවල යම් හිගයක් පවතින බවටද මෙම සාකච්ඡාවේදී අනාවරණ විය. එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ක්ෂණිකවම එම ගැටළුවද නිරාකරණය කරන ලදී.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සදහන් කළේ අදාළ වැරදි ප්‍රචාරයන් ගෙන යන පුද්ගලයන් කවුරුන්දැයි මේ වන විටත් හදුනාගෙන ඇති බවයි. මිනිස් ජීවිත අවදානමට ඇද දමමින් සිදුකරන මෙම සාවද්‍ය ප්‍රචාරය වහාම නතර කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. එමෙන්ම අදාළ පුද්ගලයන් වෛද්‍යවරුන් වුවද ජනාධිපතිවරණයෙන් පසු ඔවුන් වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්ත්‍ර වන බවද ඒ මහතා සදහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *