ලොව බලවතුන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ වඩාත් බලගතු පුද්ගලයන් සියදෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් නම් වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිත ජයත්මා වික්‍රමනායක මහත්මිය මෙසේ නම්කර තිබේ.

කීර්තිමත් ටයිම්ස් සඟරාව ලෝකයේ මීළඟ බලගතු පුද්ගලයන් වේ යැයි අනාවැකි පළ කරන පුද්ගලයන් සිය දෙනා ලැයිස්තු ගතකර තිබෙන අතර ව්‍යාපාර, විනෝදාස්වාදය, ක්‍රීඩා, දේශපාලන, සෞඛ්‍ය, විද්‍යාව සහ ක්‍රියාකාරකම් ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන මේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ජයත්මා මහත්මිය තරුණ ව්‍යවසායක ලෙසින් ලැයිස්තු ගත වී ඇත. ජයත්මා වික්‍රමනායක මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් මහතා තරුණ කටයුතු නියෝජිතවරිය වශයෙන් පත්කළ අතර, ඇය මෙම තනතුරට පත් කළේ ඒ දක්වා අදාළ තනතුර දැරෙූ ජෝර්දානයේ අහමඩ් අල්හෙන්ඩවායිගේ නිල කාලය අවසන් වීමත් සමඟය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස මේවන විට කටයුතු කරන ලොව පුරා වෙසෙන තරුණ පිරිස් සමඟ සම්බන්ධ වෙමින් 2030 තරුණ කටයුතු පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ඉටුකළ මහත් කාර්ය භාර්යය වෙනුවෙන් ඇය මෙම ලැයිස්තුවට තේරී පත් වී ඇත.

වික්‍රමනායක මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක ලෙස ද කටයුතු කර තිබෙන අතර, ඇය මීට පෙර තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල තරුණ නියෝජිතවරිය ලෙස ද (2012-2013) කටයුතු කර ඇත. නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ තෙවන ලේකම්වරිය ලෙස ද කෙටි කාලයක් (2014) සේවය කර ඇති ඇය ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ (2013-2015) මහ ලේකම්වරියක හා සෙනට් සභිකයකු ලෙස ද කටයුතු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ස්තම්භ 4ක් වන තිරසාර සංවර්ධනය, මානව හිමිකම්, සාමය හා ආරක්ෂාව මෙන්ම මානව හිතවාදී ක්‍රියාකාරකම් පිලිබඳ තරුණ ප්‍රජාවගේ නියැලීම සහ ඒ වෙනුවෙන් පෙනී සිට කටයුතු කිරීම තවදුරටත් ප්‍රචලිත කිරීම වික්‍රමනායක මහත්මියට ලබා දී ඇති නව තනතුරෙන් බලාපොරොත්තුවන භූමිකාවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ, තරුණ ප්‍රජාව පිලිබඳ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම උදෙසා ප්‍රධාන කාර්යභාරයක් සිදු කිරීමට ඇයට සිදුවන අතර 1990 උපත ලබා ඇති වික්‍රමනායක මහත්මිය කොළඔ විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරිනියක වන අතර එම විශ්වවිද්‍යාලයේම සංවර්ධන විෂයන් සඳහා වූ දර්ශනපති උපාධිය ද හිමිකරගෙන ඇත.

බෙන්තොට හබුරුගල ප්‍රදේශයේ දී 1990 වසරේ දී උපත ලැබු ජයත්මා වික්‍රමනායක සිය පාසල් අධ්‍යාපනය අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ලබා ගෙන ඇත. ඉන්පසුව ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ද හිමි කර ගත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *