බ්‍රිතාන්‍යයේ ඇන්ඩෘ කුමරු රාජකීය කටයුතුවලින් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –යෝක්හි ආදිපාද ඇන්ඩෘ කුමරුට එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා හේතුවෙන් ඔහු රාජකීය කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

අමෙරිකානු ජාතික මූල්‍ය කළමනාකරුවෙකුව සිටි ජෙෆ්රී එප්ස්ටීන් සිය දිවිනසාගන්නා විට ඔහුට එරෙහිව ලිංගික අපචාර හා ලිංගික සේවය වෙනුවෙන් කාන්තාවන් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

එප්ස්ටීන්ගේ මිතුරෙකුව සිටි බ්‍රිතාන්‍යයේ ඇන්ඩෘ කුමරුටත් ලිංගික අපචාර සම්බන්ධයෙන් චෝදනාවක් එල්ලවුණි.

තමා 17වන වියේ පසුවද්දී ඇන්ඩෘ කුමරු හා ලිංගික සබඳතාවක් පැවැත්වූ බවටත් ඒ සඳහා තමාට බල කර සිටි බවටත් චෝදනා කළේ වර්ජිනියා ජියුෆර් නමැති කාන්තාවකි.

එම කාන්තාව සමග කිසිදු සබඳතාවක් නොපැවැත්වූ බව පවසමින් යෝක්හි ආදිපාද ඇන්ඩෘ කුමරු මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළ ද තමාට එල්ලවී ඇති චෝදනා සහ ජෙෆ්රී එප්ස්ටීන් සමග පැවති මිත්‍රත්වය මුල් කරගනිමින් බ්‍රිතාන්‍ය රජපවුලට සිදුවිය හැකි අපකීර්තිය ගැන සලකා රාජකීය රාජකාරී වලින් ඉවත්වීමට ඇන්ඩෘ කුමරු තීරණය කර තිබේ.

මේ වන විට 59වන වියේ පසුවන ඇන්ඩෘ කුමරු බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *