ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් නව ජනපතිට සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය සඳහා නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ක්‍රියා කරනු ඇති බව මෙරට අමෙරිකානු වාණිජය මණ්ඩලය විශ්වාසය පළ කරයි.

එම මණ්ඩලය පෙන්වා දෙන්නේ, දෙරට අතර පවතින සෞභාග්‍යමත් සබඳතාවල නව පරිච්ජේදයක් උදාවනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පත්වීමෙන් අනතුරුව ඔහුට සුභපතමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාණිජ්‍ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ නව පරිපාලනය සමඟ සමීපව ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බවයි. අමෙරිකා-ශ්‍රී ලංකා ව්‍යාපාරවලට හිතකර ආයෝජන හා වෙළෙඳ ප්‍රතිපත්ති ප්‍රවර්ධනයට නව ජනාධිපතිතුමා පියවර ගනු ඇති බවට ද අමෙරිකා වාණිජ්‍ය මණ්ඩලය විශ්වාසය පළ කරයි. අමෙරිකාව, ශ්‍රී ලකාවේ විශාලතම අපනයන හවුල්කරුවේ. ශ්‍රී ලංකාව 2018 වසරේදී අමෙරිකාවට අපනයනය කළ භාණ්ඩවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන තුනකට අධිකවේ.

මේ අතර මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හම්දුල්ලා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පසුගියදා හමුවී තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. බංග්ලාදේශ මහකොමසාරිස්වරයා තම රජයේ සුබපැතුම් ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *