ජනපති උපදෙසින් පරිසරය රකින්න පොලිසිය සීරුවෙන්

(කොළඹ, ලංකාපුවත්) –පරිසර ආරක්ෂාව හා පරිසර අලංකරණය නැවත විධිමත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් පරිසරය සුරැකීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ පොලිස් නිලධාරීන් එක් එක් ප්‍රදේශවලට අනුයුක්ත කෙරෙන අතර ඔවුන් විසින් පරිසරයට හානිදායක ක්‍රියාවන් හා පරිසර හානි සිදු වන ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිතය.මෙම වැඩසටහන ඊයේ (24) ආරම්භ වු අතර කොළඹ නගරයේ නිදහස් චතුරස්‍රය, ගාලු මුවදොර පිටිය, පිටකොටුව බෝ ගහ අසල පවිත්‍රතා සේවාව සිදු වන අයුරු පොලිස් නිලධාරීහු විසින් අධීක්ෂණය කරනු ලැබුහ.

අද (25) දිනයේ දී පාරිසරක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් හා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික ප්‍රමාණයක් යොදවා වෙරළ තීරය පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක් ද සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොලිසියේ පාරිසරික දිසාව මෙම වැඩපිළිවෙළට යටතේ නැවත ප්‍රතිසංවිධාන කර ඇති අතර පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පාරිසරික කොට්ඨාසය භාර අධ්‍යක්ෂකවරයෙකු පත් කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මීට සමගාමීව සෑම පොලිස් ස්ථානයකම ඇති පාරිසරික ඒකක ද ප්‍රතිසංවිධාන කෙරෙන අතර ඒවා අධීක්ෂණය කිරීමට සහකාර පොලිස් අධිකාරිවරුන් සිව් දෙනකු පත් කිරීමට නියමිතය.

දැනට කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදු කරන පෞද්ගලික ආයතන දෙකෙහි සියලු කළමනාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවන ලද අතර අනෙකුත් කරුණුවලට අමතරව දෛනිකව අළුයම 5.30 වන විට පවිත්‍රා කටයුතු ආරම්භ කළ යුතු බව හා ඉන් අනතුරුව පැය 24 පුරා ම සේවකයින් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවට ද උපදෙස් දී තිබේ.

පරිසර ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි නීතිමය ප්‍රතිපාදන රැසක් වන නමුත් මෙම වැඩපිළිවෙළ යටතේ බලාපොරොත්තු වන්නේ බලධාරී ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සාමුහිකව ක්‍රියාකරමින් පරිසරය සුරැකීමයි.

එමෙන් ම දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයක්ම භාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් අධිකාරීවරුන් පසුගිය දා පොලිස් මුලස්ථානයට ගෙන්වා පරිසරය සුරැකීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *