හම්බන්තොට වරාය බදුදීම වරදක්

(කොළඹ, ලංකාපුවත්) –හම්බන්තොට වරාය වසර 99ක කාලයක් සඳහා චීනයට බදු දීමට පසුගිය රජය මගින් සිදු වූ වරදක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

චීනය අපගේ කොතරම් මිතුරකු වුවත් ඔවුන් අපගේ සංවර්ධනයට උපකාරී වුවත් මෙය වරදක් ලෙස දකින්නට තමන් බිය නොවන බව පැවසූ රාජපක්ෂ මහතා මෙම ගිවිසුම සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවත් ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ඉන්දියාවේ භාරත් ශක්ති මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කර්තෘ නිතින් ඒ ගෝක්ලේ සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාවගේ නොසතුටක් පවතින බව පැවසූ රාජපක්ෂ මහතා අප කල්පනා කළ යුත්තේ වසරක් දෙකක් නොව අනාගතය ගැන බැවින් මේ ගැන නැවත සලකා බැලිය යුතු බව පැවසීය.

කිසිවිටෙකත් ලෝක බලවතුන්ගේ බල අරගලයට මැදිහත්වීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට නොමැති බව පැවසූ රාජපක්ෂ මහතා කිසිදු රටකට හානියක් වන කිසිවක් කිරීම සිය ප්‍රතිපත්තිය නොවන බවත් පැවසීය.

ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් චීන මැදිහත්වීම ගැන බියෙන් සිටින නමුත් එය වාණිජ ගනු-දෙනුවක් පමණක් බවත් එක රටකට පමණක් ඉඩ දී නොසිට පැමිණ ආයෝජනය කරන්නැයි තමන් ඉල්ලා සිටින බවත් පැවසීය. එවැනි රටවල් අප රටට පැමිණ ආයෝජන කිරීම තමන්ට අවශ්‍ය බව පැවසූ රාජපක්ෂ මහතා නීති රෙගුලාසි සමඟ පවතින අපහසුතා ඉවත් කර ආයෝජන සඳහා මිත්‍රශීලි පරිසරයක් තමා නිර්මාණය කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *