දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම පුළුල් පරාසයක් ආවරණය වන පරිදි හා ඵලදායි ආයෝජන අරමුණු කරගනිමින් වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී රජය විසින් පියවර ගන්නා බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

දැනට ක්‍රියාත්මක සහනදායි පොලී අනුපාත යටතේ ලබා දෙන ණය යෝජනා ක්‍රම සම්බන්ධව පුවත්පත්වල පළ වන විවිධ ප්‍රවෘත්ති සම්බන්ධ ව සැලකිල්ලට ගනිමින් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ සහනදායී පොලී අනුපාත යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රම මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම හා එමඟින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය තවදුරටත් වර්ධනය කිරීම රටේ ආර්ථික වර්ධනය කෙරෙහි ඍජුව බලපාන ප්‍රධාන සාධකයක් බව රජය පැහැදිලිව අවබෝධ කරගෙන ඇති බවයි. දැනට පවතින ණය යෝජනා ක්‍රම ජාතික ආර්ථිකයේ ප්‍රමුඛතා ක්ෂේත්‍ර මැනවින් හඳුනාගෙන ක්‍රියාත්මක කළ යුතු බව නව රජයේ ස්ථාවරය වී තිබෙන බව ද එහි සඳහන් වේ.

එම නිසා, ආර්ථිකයේ ප්‍රමුඛ ක්ෂේත්‍ර හඳුනාගෙන එම ක්ෂේත්‍ර මගින් ජාතික ආර්ථිකයට වන දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල වන ලෙස මෙම ණය යෝජනා ක්‍රම නැවත සමාලෝචනය කිරීමට හා ප්‍රතිසංවිධානය කිරීමට මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව විධිමත් අධ්‍යයනයකින් පසුව එම ණය යෝජනා ක්‍රම වඩාත් පුළුල් පරාසයක් ආවරණය වන පරිදි හා ඵලදායි ආයෝජන අරමුණු කරගනිමින් වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී රජය විසින් පියවර ගනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *