රාජ්‍ය අංශය ශක්තිමත්කර ජනතා සේවය වෙනුවෙන් නව ගමනක් යමු

(කොළඹ, ලංකාපුවත්) –තමන්ට ලැබුණු තනතුර, වරප්‍රසාදයක් නොව වැදගත් වගකීමක් ලෙස සලකා ජනතාවට විය යුතු සේවය ඉටුකරන්නට කැපවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනතාව තමන්ට ජනවරමක් ලබාදුන්නේ විශාල බලාපොරොත්තු ඇතිව බව සිහිපත් කළ රාජපක්ෂ මහතා එම බලාපොරොත්තු ඉටුකරමින් ජනතාවට සේවය කිරීම සියලුදෙනාගේ වගකීම බවත් ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කෙළේ නව රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (27) එක්වෙමිනි.

මැතිවරණ ව්‍යාපාරය තුළ තමන් ඒ ඒ ප්‍රදේශවල කළ සංචාරයන්හිදි දක්නට ලැබුණු ජනතා අවශ්‍යතාවන් ඉටුකිරීම සඳහා මෙම ඇමැති ධුර විශේෂයෙන් සකස් කළ බව පැවසූ රාජපක්ෂ තනතුරු නැතත් අනෙකුත් මන්ත්‍රීවරුන් ද අමාත්‍යාංශවල රාජකාරීවලට යොදා ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට භාර දී ඇති වගකීම් ඉටු කරන්නට ඉඩ සළසන ලෙසට ඇමැති මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා ඒ සඳහා රාජ්‍ය ඇමැතිවරුන්ට ලේකම්වරයකු බැගින් පත්කිරීමට කටයුතු කරන බවත් කීවේය.

තමන්ට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳ ඇතැම් ඇමැතිවරයකුට යම්කිසි සැකයක් තිබෙන්නට පුළුවන් නමුත් ඒ සෑම අමාත්‍යාංශයකටම විශාල වගකීමක් පැවරී තිබෙන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍ය අංශය ශක්තිමත් හා කාර්යක්ෂම කොට ජනතා සේවය වෙනුවෙන් නව ගමනක් ඇරැඹීමට සූදානම් වන ලෙස ඉල්ලා සිටි ජනාධීපතිවරයා ජනතා සේවය වෙනුවෙන් තිබෙන රාජ්‍ය අංශය නිසි ආකාරයට ක්‍රියාත්මක කරවීම ඇමැතිවරුන්ගේ වගකීම බවත් වැඩිදුරටත් පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, අගමැති ලේකම් ගාමිණී සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + six =