වර්ෂාවෙන් – නාය යෑමෙන් දිස්ත්‍රික්ක 12කට ආපදා – නුවරඑළියේ නාය යෑමකින් එක පවුලේ 4ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක ‍12ක ප්‍රාෙද්ශීය ලේක්ම කොට්ඨාස 26ක පවුල් 1,156කට අයත් පුද්ගලයන් 4,126 දෙනකු බලපෑමට ලක් කරමින් ප්‍රදේශ ගණනාවක පවතින වැසි සහිත කාලගුණය ආපදා තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත.

ඒ අනුව උතුර, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 – 150 පමණ තද වර්ෂාපතනයක් සහ යාපනය, කිලිනොච්චි, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75 – 100 පමණ තරමක් තද වර්ෂාපතනයක්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (01) නිවේදනය කළේය.

මේ වන විට උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් හතර දෙනකු මියගොස් ඇති අතර හතර දෙනකු තුවාල ලබා දෙදෙනකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මීට අමතරව නිවාස හානි පූර්ණ 02ක්, අර්ධ හානි 46ක් සිදුව ඇති බවත් ආරක්ෂිත ස්ථානවල පවුල් 158කුත් එම පවුල්වලට අයත් පුද්ගලයන් 569කුත් ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කළේය. ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හානි අවම කරගැනීමට කාලගුණ නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ප්‍රදේශයේ පවතින ආපදා තත්ත්වයන් පිළිබදව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවත් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20 – 40 පමණ වන අතර කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යෑමේ හැකියාවක්ද පවතින බවත් මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක මාර්ග අවහිරතා වාර්තා වී ඇති අතර බදුල්ල – පස්සර – පිටමාරුව මාර්ගය ප්‍රදේශයේ කුරුවිගොල්ල හන්දියේ සිට අම්බලම හන්දිය දක්වා සහ නුවරඑළිය – වැලිමඩ මාර්ගය මාගස්තොට පොලිස් මාර්ග බාධකය අසල සිට මීටර් 500ක් පමණ දුරින් මාර්ගවලට පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන් මාර්ග අවහිර වී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේය.

මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කුලම මාර්ග බාධකය අසල ප්‍රදේශය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුම්බිච්චන්කුලම වැව පිටාර දැමීම හේතුවෙන් නගරය හරහා ගමන් ගන්නා එම වාන් ජලය පිට වන එක් ඇළක් අවහිර වීමෙන් අනුරාධපුර – ඇල්ල හරහා කොළඹ මාර්ගය, අනුරාධපුර – පුත්තලම හරහා කොළඹ මාර්ගය සහ අනුරාධපුර – කුරුණෑගල හරහා කොළඹ මාර්ගය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රදේශයේ දකුණු විජිත පාර, පුත්තලම දිස්ත්‍රික්කයේ අනුරාධපුර – පුත්තලම මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ 2 කණුව අසල හැවන්වත්ත පාර ජලයෙන් යට වී ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර දින කිහිපයක් මුළුල්ලේ පැවැති අධික වර්ෂා තත්ත්වයත් සමඟ නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ සිදුවූ නාය යෑමක් හේතුවෙන් නිවසක් මුළුමනින්ම පස් කන්දකට යටවී එහි සිටි පුද්ගලයන් සිව්දෙනකුප මියගොස් ඇත.

මෙම නාය යෑම පෙරේදා (30) රාත්‍රී 7.30ට පමණ සිදුවූ අතර ඉන් නිවස මුළුමනින්ම පස් කන්දකට යටව ගොස් තිබේ. එයින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි සිටි අඹුසැමි යුවළක් හා ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඔවුන්ගේ 17 හැවිරිදි දියණියයි. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ඔවුන්ගේ 16 හැවිරිදි පුත්‍රයා අතුරුදන්ව ඇති අතර ඔහුගේ සිරුර සොයා යුද හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.

නාය යෑමට ලක්වූ නිවසේ පදිංචිකරුවන්ට මීට ප්‍රථම එම නිවසින් ඉවත් වන ලෙසට අාපදා කළමනාකරණ ඒකකය මඟින් දැනුම් දීමක් සිදුකර තිබූ බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *