ස්විස් තානාපති කාර්යාල සිද්ධිය විමර්ශනවලට පූර්ණ සහාය දෙනවා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගිය බව පවසන සිද්ධියට අදාළ විමර්ශන කටයුතු වෙනුවෙන් පූර්ණ සහාය ලබාදෙන බව ස්විට්සර්ලන්තය අවධාරණය කරයි.

රටේ නීතියට අනුව සිදුකරන සියලු කටයුතු වෙනුවෙන් සහාය ලබාදෙන නමුත් අදාළ නිලධාරිණියගේ සෞඛ්‍ය තත්ත්වය මත ප්‍රශ්න කළ නොහැකි බවද ස්විට්සර්ලන්ත ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ජර්මනියේ බර්ලින් හා සේවය කරන ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ස්විට්සර්ලන්තයේ බර්න් නගරයට කැඳවා මේ සම්බන්ධයෙන් විමසීමක් කර තිබෙන අතර එහිදී ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් පැස්කල් බැරිස්වි මහත්මිය මෙලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා තානාපතිවරයා සහ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම්වරිය අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී නීතිමය ක්‍රියාවලිය ඔස්සේ අදාළ විමර්ශන කටයුතු පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත. කෙසේ වුවද අදාළ නිලධාරිණිය අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට පැස්කල් බැරිස්වි මහත්මිය මෙහිදී තහවුරු කර තිබෙන අතර ඇයගේ සෞඛ්‍ය තත්ත්වයට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවද පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු ප්‍රමාද කිරීම සඳහා ස්විට්සර්ලන්තයට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි පෙන්වා දී තිබෙන එරට රාජ්‍ය ලේකම්වරිය කෙසේ වුවද ස්විට්සර්ලන්ත ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව තම සේවකයන් සම්බන්ධයෙන් වගකීමක් දරන බවද ප්‍රකාශ කැර තිබේ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර තිබෙන අතර ඒ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් ඉල්ලීමක් කැර ඇත. ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසය සහ සහයෝඟීතාවය තවදුරටත් ශක්තිමත් කැර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට ස්විට්සර්ලන්තය සූදානම් බව පෙන්වා දී තිබෙන ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් පැස්කල් බැරිස්වි මහත්මිය ඉදිරියටත් දෙරට අතර සහයෝඟයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බව සදහන් කැර තිබේ. පසුගිය නොවැම්බර් මස අවසානයේ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන දේශීය නිලධාරිණියක් මහමඟ ගමන් කරමින් සිටිය දී පැහර ගෙන ගොස් තානාපති කාර්යාලයට අදාළ තොරතුරු හෙළි කරන ලෙස හදුනා නොගත් පිරිසක් බලකර තිබේ. ස්විට්සර්ලන්ත ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙන අතර ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහාය දෙන බවට ප්‍රකාශ කැර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *