රට හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ ජාතික ප්‍රතිපත්තිය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රට හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව, සිය කාර්යයන් ඉටු කිරීමේ දී සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මෙම ප්‍රතිපත්තිමය රාමුව අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දීමටත් රජය තීරණය කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.

ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක, විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යවත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම සඳහා දස ප්‍රතිපදාවන්ගෙන් යුත් වැඩපිළිවෙළක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා පවසයි.

ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පෙරේදා (4) රැස්වූ අතර, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන විෂය භාර ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබූ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඇමැතිවරයා සඳහන් කරයි.

සම කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දීය.

වර්තමානයේ රටේ පවතින තත්ත්වය පිළිබඳ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව පැවසු ඇමැතිවරයා, ප්‍රධාන වශයෙන් ම පසුගිය වසර 5 ඇතුළත රටේ නිපැයුම හා ආදායම විශාල වශයෙන් අඩුවී තිබීම කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමුවූ බවත් පැවැසීය. එසේම, ඉතිහාසයේ කිසි දිනක නොවූ ආකාරයට ජනතාව ණය බරින් පෙළෙන බවද ඇමැතිවරයා කීවේය. මේ තත්ත්වයට විසඳුම් ලබා දීම සඳහා ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කළ බවත් පවසූ ඇමැතිවරයා, ඒ සඳහා ඉක්මනින් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගමැතිවරයා මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇතැයි ද වැඩිදුරටත් පැවැසීය. සම කැබිනට් ප්‍රකාශක, අමැති රමේෂ් පතිරණ මහතා මෙහිදී අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *