2019 මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – 2019 මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇත. ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නිකුත් කළ නවතම වාර්තාවට අනුවය.

මීට පෙර 76 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 71 වන ස්ථානය හිමිකර ගෙන තිබේ. ඒ අනුව මාවන වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ස්ථාන 05ක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටි.

රටවල් 189 ක දත්ත පදනම් කරගෙන මෙම දර්ශකය ගණනය කරනු ලැබේ.

“ආදායමෙන් ඔබ්බට, සාමාන්‍යයෙන් ඔබ්බට, අදට එහා: 21 වන සියවසේ මානව සංවර්ධනයේ අසමානතා” යන මාතෘකාව තේමා කර ගනිමින් මෙම දර්ශකය මෙවර ඉදිරිපත් කර ඇත.

රටවල් 189ක සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආදායම පිළිබඳ සංයුක්ත ජාතික මිනුමක් ලෙස මෙම දර්ශකයේ රටවල් ශ්‍රේණිගත කර ඇත.

මෙම දර්ශකයේ මෙවර පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව තිබේ. අවසන් ස්ථානයට පත්ව සිටින්නේ නයිජර් රාජ්‍යයයි. අසල්වැසි ඉන්දියාව පසුවන්නේ 129 වන ස්ථානයේය. චීනය ද 85 වන ස්ථානයේ පසුවේ. මෙම රටවල් ද අභිභවා මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

එසේම 21 වන ශතවර්ෂයේ මානව සංවර්ධනයේ අසමානතාවයන් කෙරෙහි අවධානය යොමු කරන වාර්තාව අනතුරු අඟවා ඇත්තේ දේශගුණික විපර්යාස සහ තාක්‍ෂණික වෙනස්වීම් ලොව පුරා අසමානතාව වැඩි වෙමින් පවතින බවත් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල සිවිල් නොසන්සුන්තාවයට දායක විය හැකි බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *