සූර්ය බලයෙන් ක්‍රියාකලහැකි ආකාරයේ ත්‍රීරෝද රථ නියමු ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාකලහැකි ආකාරයේ ත්‍රීරෝද රථ නියමු ව්‍යාපෘතියක් මෙරටට හදුන්වාදීමට කටයුතු කෙරේ.

“දෛනිකව වර්ධනය වන විදුලිබල හා බලශක්ති ඉල්ලුම සපුරාලීම පිණිස, මේ වනවිට රටේ පවතින දේශීය ප්‍රභවයන් ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම ඉල්ලුම සපුරාලීම පිණිස මේ වනවිටත් පොසිල ඉන්ධන ආනයනය සිදුකරනවා. මේ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් විදේශයන් වෙත ගෙවීමට සිදුවී තිබෙනවා. මෙම ගැටලුවට තිරසාර විසදුමක් හැටියට, විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුකිරීම වඩාත් වැදගත්. මේ වෙනවිටත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවි ඇති අතර ඒ සම්බන්ධයෙන්වන ව්‍යාපෘතීන් රැසකට යොමුවී තිබෙනවා. එහි එක් පියවරක් වශයෙන් අනාගතයේදී මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශාල විප්ලවයක් ඇති කිරීමට සමත්, සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාකලහැකි ආකාරයේ ත්‍රීරෝද රථ නියමු ව්‍යාපෘතියක් මෙරටට හදුන්වාදීමට කටයුතු කිරීම සතුටට කරුණක්. එමෙන්ම වසර 2050 වනවිට රටේ සමස්ත විදුලිබල නිෂ්පාදනයෙන් 100%ක්ම පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු කරනවා” යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.

අමාත්‍යරවයා මෙම අදහස් පළකළේ, පසුගියදා(13) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කර තිබු ශ්‍රී ලංකා සුනිත්‍ය ශක්ති අධිකාරියේ ජාතික බලශක්ති සම්මන්ත්‍රණ හා නවෝත්පාදන සංසදයට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සංසදය සදහා නවෝත්පාදන හදුන්වාදෙන්නන්, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන් මෙන්ම බලශක්ති කලමණාකරුවන් විශාල පිරිසක් සහභාගි වේ. න්‍යායික මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් යුත් මෙම වැඩසටහන, දෙදිනක් පුරා පැවැත්වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය අමරවීර මහතා,

“මා විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය බාරගැනීමෙන් අනතුරුව සහභාගි වන මුල්ම විද්‍යාත්මක සමුළුව මෙයයි. මෙම අමාත්‍යාංශය රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් මෙන්ම විශාල බලපෑමක් එල්ල කළහැකි අමාත්‍යාංශයක්. එසේම ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රටේ ආර්ථික සංවර්ධනයට අත්‍යාවශ්‍ය සේවාවන් සපයන ආයතන වශයෙන් හදුන්වාදෙන්න පුළුවන්. විකල්ප බලශක්ති ප්‍රභවයන් හදුනාගැනීම, ඒවා සංවර්ධනය කිරීම, බලශක්ති උත්පාදනය සදහා යොදවා ගැනීම ආදියට නායකත්වයක් දෙමින්, පුනර්ජනනීය බලශක්ති අධිකාරියත් එවැනිම සුවිශාල වැදගත්කමක් උසුලන ආයතනයක්.

මේ රටේ පවතින බලශක්ති උත්පාදන මූලාශ්‍රයන් ඉතාමත් සීමිත බැවින්, රටේ බලශක්ති සුරක්ෂිත කිරීම අත්‍යාවශයයි. ඒ ආකාරයෙන් සැලසුම්සහගතව ක්‍රියාත්මකවීම තුළින් ඉන්ධන ආනයනය වෙනුවෙන් වැයවන විශාල විදේශ විනිමය ප්‍රමණයක් ආරක්ෂා කරගත හැකි වනවා. එමෙන්ම ලෝකයේ සංවර්ධන අරමුණු අතර වැදගත් ඉලක්කයක්වන අඩු කාබන් තිරසාරත්වයක්ද ලබාගත හැකිවනවා. සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන තුළින් ගනු ලබන නිගමන සහ නිර්දේශයන් ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රගමනයට මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටළු විසදීම සදහා ඉතාමත් වැදගත්” වනු ඇතැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *