පාසල් ආරම්භයට පෙර ඩෙංගු මර්දන වැඩසටහන්

(කොළඹ, ලංකාපුවත්) –මේ දිනවල වර්ෂාව අඩු වීම හේතුවෙන් දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට තිබෙන බවත් දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීමට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළ යුතු බවත් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

පසුගියදා (16) කෑගල්ල දිස්ත්‍රිකයේ දැරණියගල ආසනයේ කුඹුරුගම පැවති උත්සව අවස්ථාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසීය.

මෙම වසරේ දිවයින පුරා ඩෙංගු රෝගින් 90,000ක් පමණ වාර්තා වී ඇති බවත් නොවැම්බර් මාසයේ පමණක් 20,573ක් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් මත පාසල් දරුවන් මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් දක්නට තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලුම පාසල් ආරම්භ කිරීමට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමෙන් මෙම තත්ත්වය මඟහැර ගත හැකි බව පැවසූ ඇමතිවරයා ඒ සඳහා පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ගෙන් මෙන්ම සියලුම පාසල් සංවර්ධන සමිතිවලින්, ආදි ශිෂ්‍ය සංගම්වලින් සහ මාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *