සහල්-ලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකුණුවොත් නීතිය තදින්

(කොළඹ, ලංකාපුවත්) –සහල්- ලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වංචනික ලෙස ඉහළ දමන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

වෙළෙඳ පොළ සැපයුම් තත්ත්වය පරීක්ෂා කරමින්, සහල් සැපයුම් මධ්‍යස්ථානවල පවතින තොග දෛනිකව මුදා හැරීමට කණ්ඩායමක් පත්කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික අධිකාරියට නියෝග කර තිබේ. පිටකොටුවේ සහ සෙසු ප්‍රධාන වෙළෙඳපොළවල සහල් සැපයුම්කරුවන් පිළිබඳ පරීක්ෂා කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්හට උපදෙස් ලබා දුන්නේය.

ප්‍රකාශිත උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට සහ වෙළෙඳ පොළ මගඩිවලට පාරිභෝගිකයන් ගොදුරුවීම වැළැක්වීමට හා උත්සව සමයේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳපොළට සැපයීම අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ද හෙතෙම පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දුන්නේය.

භාණ්ඩවල මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පෙරේදා (18) රාත්‍රියේ නාරාහේන්පිට විශේෂ අර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව එම ස්ථානයේ සිටම මුදල් අමාත්‍යාංශයේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට දුරකථනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිවරයා බදු සහනවල ප්‍රතිලාභ නිසි ලෙස ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට ලැබෙන්නේ ද යන්න පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම් දී ඇත.

සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස පාලන මිලක් නියම කිරීමට පාරිහෝගික කටයුතු අධිකාරිය ඉකුත් 10 දා කටයුතු කළ ද එම මිලට වෙළෙඳ සැල්වලින් සහල් මිලට ලබා ගත නොහැකි බව පාරිභෝගිකයන් මැසිලිවිලි නඟිමින් සිටිති.

ප්‍රධාන සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර, පවත්නා තොග තත්ත්වය ද සහතික කර ගැනීමෙන් අනතුරුව ප්‍රධාන වී මෝල් හිමියන් මෙන් ම සිල්ලර බෙදාහැරීම් ජාලය එම මිලට සහල් විකුණන බවට සහතික වීමෙන් පසු පාලන මිලක් නියම කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබිණි.

ලබා දී ඇති බදු සහන අත්‍යාවශ්‍ය පාරිහෝගික භාණ්ඩ මිල කෙරෙහි බලපා ඇති ආකාරය මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක්ව ඇති අතර, සහල් සඟවා තබාගෙන මිල ඉහළ දමන වෙළෙඳුන්ට එරහිව නිතීය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.

මේ අතර වෙළෙඳ පොළෙහි පවතින අනයනික භාණ්ඩ පිළිබඳ වරතාවක් කඩිණමින් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කර්යාලය අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අනයනකරුවන්ගේ සංගමයට උපදෙස් ලබා දී ඇත.

ප්‍රධාන වී මෝල් හිමියෝ මේ මිල සිය සහල් පැකට්වල සඳහන් කරන බවට සහ සිල්ලර බෙදාහැරීම් ජාලයේ එම මිලට සහල් විකුණන බවට සහතික වූවද එහෙත් බොහෝ ස්ථානවල එය සිදු නොවන බවට පැමිණිලි ලැබී තිබේ.

සහල් කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය උපරිම ප්‍රයත්න දැරීම වී මෝල් හිමියන් සහ වෙළෙඳුන් අගය කළ යුතුය. අනවශ්‍ය ලෙස සහල් ආනයනය හෝ වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු සඳහා වෙනත් ආකාරයේ රජයේ මැදිහත්වීම් සඳහා බල නොකෙරෙන පරිදි වී වෙළෙඳ පොළෙහි සැපයුම් තත්ත්වය සහතික කිරීම වී මෝල් හිමියන්ගේ සහ වෙළෙඳුන්ගේ වගකීමකි.

2019- 2020 මහ කන්නය ආරම්භ වී ඇති හෙයින් සහ අස්වැන්න 2020 ජනවාරි මාසයේ සිට අපේක්ෂා කරන හෙයින්, උත්සව සමයේ දැරිය හැකි මිලකට භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට සපයන අතරම, සිය වගාවන් පුළුල් කර ගැනීමේ උපරිම අවස්ථාව ගොවීන්ට ලැබිය යුතුය. සැපයුමේ හිඟයක් පිළිබඳ බියවීමට හේතුවක් නැත. වෙළෙඳ පොළ තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීමට සහ මේ කාලයේ විශේෂයෙන් නාගරික සහ වතු කම්කරු ජනතාවට දැරිය හැකි මිලකට තිරිඟු පිටි ලබා ගැනීමේ අවස්ථාව සැලසීම සඳහා තිරිඟු පිටි ආනයනය මත පනවා තිබූ සිමා ද රජය ලිහිල් කර ඇත.

රජය දැනටමත් වැට් බද්ද 15% සිට 8% දක්වා පහත දමා ඇති අතර 2% ජාතිය ගොඩනැගීමේ බද්ද සහ අනෙකුත් වක්‍ර බදු ඉවත් කර ඇත්තේ එක් අතකින් ජීවන වියදම අඩු කිරීමේ අරමුණෙන් සහ අනෙක් අතට රටේ සැපයුම් ප්‍රවර්ධනය පිණිසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *