රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ ගැටළුවලට කඩිනම් විසදුම්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ සේවකයින් මුහුණ දෙන ගැටළු සඳහා කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ නිරීක්ෂණ චාරිකාවකට අද(20) සහභාගී වෙමිනි.

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ යන්ත්‍රෝපකරණ අංශය, බර වෑද්දුම් අංශය, වඩු කාර්මික අංශය, වාත්තු අංශය, සැහැල්ලු වෑද්දුම් අංශය, ලෝහ කැටයම් අංශය, වාහන අංගනය සහ ප්‍රධාන ගබඩාව යන අංශ වෙත අමාත්‍යවරයා මෙහිදී ගමන් කළ අතර එහි කටයුතු සිදුවන ආකාරය පිළිබදව නිරීක්ෂණය කරන ලදි.

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙහි සේවකයින් සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක නිරත විය. මෙහිදී සේවකයින් ප්‍රකාශ කළේ හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගිය වසර 4 ½තුළ එක් දිනක්වත් මෙම ආයතනයට නොපැමිණි බවයි. සේවකයින් තමන් මුහුණ දෙනු ලබන ගැටළු රැසක් පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. එම ගැටළු සඳහා කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සේවකයින් වෙත පවසන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා“2015 වසරෙන් පසුව මෙම ආයතනයේ කඩාවැටීම සිදු වී තිබෙනවා. පසුගිය රජය සමයේදී අවශ්‍ය ඇණවුම් සහ අනුග්‍රහය නිසි ලෙස මෙම ආයතනයට ලැබී නැහැ. මෙම ආයතනය මෙසේ කඩා වැටුණේ කොහොමද කියා බලන්නට අවශ්‍යයි. කලින් සිදු වුණු දේවල් නැවත සිදු නොවන්නට අප වග බලා ගත යුතුයි. සේවකයින් අද අපෙන් ඉල්ලුවේ ඔවුන්ට වැඩ ලබා දෙන්න කියලයි. එම නිසා සෞඛ්‍යය අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමග සාකච්ඡා කර අවශ්‍ය ඇණවුම් ලබා දීමට කටයුතු කරනවා. මෙම ආයතනය තුළ සිදු කිරීමට නොහැකි දෙයක් නැහැ. මෙහි සේවකයින්ට හැකියාව, දක්ෂතාවය උපරිමයෙන් තිබෙනවා. ඊට අවශ්‍ය උපකරණ තිබෙනවා. එම නිසා වැඩ පිටට දෙන්න අවශ්‍ය නැහැ. කඩිනමින් මෙම ආයතනය අප දියුණු කළ යුතුයි.මෙතෙක් ඔබට නොලැබුනු ආපදා ණය කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා. ඔබට තිබෙන ප්‍රශ්න ගැන අපි මාසයකට වරක් එකතු වී කතා කරමු” යනුවෙන් පැවසීය.

වර්තමානයේ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය යටතේ පවතින රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව තුළ සේවකයින් 400 ක පමණ පිරිසක් මේවනවිට සේවය කරනු ලබයි.

වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,දැදුරු ඔය ව්‍යාපෘතිය, රාජාංගනය ජලාශයේ වාන් දොරටුව්‍යාපෘතිය, මොරවැව ජලාශයේ සොරොව්ව ප්‍රතිසංස්කරණය, තොන්ඩමන් ආරු බරාජය ප්‍රතිසංස්කරණය,රඔකැන් ඔය ව්‍යාපෘතිය ඇතුළු වාරි ව්‍යාපෘති රැසක් රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. මීට අමතරව මාළිගාවිල හා අවුකන බුද්ධ ප්‍රතිමා සඳහා ආවරණ වහල ඉදිකිරීම, මහබැංකු ගොඩනැගිල්ලේ නවීකරණ කටයුතු සිදු කිරීමද මෙම දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *