මහා භාරකාරවරයා සතු දේපලවලින් වැඩි ආදායමක් ලබා ගත යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – මහා භාරකාරවරයා වෙත පැවරී ඇති වතු වලින් වැඩි ආදායමක් ලබා ගැනිමට හැකි ක්‍රමවත් ඵලදායිතාවයක් ඇති කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කරයි.

නව රජය යටතේ මහාභාරකාර දෙපාර්තමේන්තුව මගින් ජනතාවට ලබා දිය යුතු සේවය වඩාත් පුළුල් කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ කොළඹ 05, බුලර්ස් පටුමග පිහිටි ,මහාභාරකාර දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

මහාභාරකාරවරයා සතු වටිනා දේපළ වලින් වැඩි ආදායමක් උපයා ගෙන ඒවා මහාභාරකාරවරයා වෙත භාර දෙන ලද අරමුණු ඉටු කරවා ගැනීම සදහා ඵලදායී ලෙස යොදවා ගන්නා ලෙසත්, අනවශ්‍ය වියදම් කපා හරිමින් මුල්‍යමය විනයක් සහිත වැඩ කටයුතු කිරීමට නිලධාරීන් කැපවිය යුතු බවත් අමාත්‍යවරයා විසින් එහිදී පැවසීය.

විශේෂයෙන්ම මහා භාරකාරවරයා වෙත පැවරී ඇති වතු වලින් වැඩි ආදායමක් ලබා ගැනිමට හැකි ක්‍රමවත් ඵලදායිතාවයක් ඇති කිරිම සදහා එම වතුවල සේවය කරනු ලබන වතු අධිකාරිවරුන් හා මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ සාකච්ඡාවක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලෙසත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.

මහාභාරකාර දෙපාර්තුමේන්තුවට දැනට අධිකරණ ගණනාවක පවතින නඩුකරයන් පිළිබදව සමාලෝචනයක් සිදු කර නීතිඥ ගාස්තු අවම කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් නීතිඥ ගාස්තු අවම කර ගැනීම සදහා නීති නිලධාරීන් බදවා ගැනීම කඩිනම් කරන ලෙසත් මනා ක්‍රියාකාරිත්වයකින් යුත් නීති අංශයක් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරිමට වහාම කටයුතු ලෙසත් උපදෙස් ලබා දෙන ලදී.
මහාභාරකාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අළුත් වැඩියා කළ යුතු බැවින් එය අලුත් වැඩියා කිරීම සදහා මුදල් සපයා ගැනීමේ කටයුතු සකස් කොට නොපමාව එම කාර්ය ඉටු කිරීමට කටයුතු කළ යුතු බවට මෙහිදී තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *