ජනතාවට නිවැරදි-කඩිනම් සේවාවක් සැපයීම රාජ්‍ය සේවකයාගේ වගකීමයි

(කොළඹ, ලංකාපුවත්) – සේවාවක් ලබා ගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවට පත් නොකර කඩිනම් නිවැරැදි හා ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

එසේම සේවාවන් සැපයීමේ දී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතැබිය යුතු බවත් සැමට කාලය වැදගත් බැවින් සේවාලාභීන්ට කඩිනමින් අවශ්‍යතා ඉටුකර දීමට කැපවිය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක ඊයේ (26) නියැළුණු අවස්ථාවේ දීය.මෙම කාර්යාලයෙන් සිය කාර්යයන් සිදුකර ගැනීමට ආ ජනතාවගේ අදහස්වලට කන් දුන් ජනාධිපතිවරයා ඔවුන් පෙන්වා දුන් අඩුපාඩු වහා සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම අඩුපාඩු මාසයක කාලයකින් සකස් කළ යුතු බවත් තමන් මාසයකට පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට නැවත පැමිණෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපත්‍රය නිකුත් කිරීම දක්වා වූ සියලුම අංශ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය හමු වී ආයතනයේ ක්‍රියාකාරිත්වය ද සොයා බැලුවේය.

සේවාවක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයාට එය බාරගත් වේලාව සඳහන් කර නැවත භාරගැනීමට පැමිණිය යුතු වේලාව දැන්වීම ඉතා වැදගත් බව පැවසූ ජනාධිපතිවරයා එවිට ආයතනයේ කාලය අපතේ නොයවා සිය කටයුතු ඉටුකර ගැනීමට ජනතාවට හැකි වන බවත් පැවසිය.

ජනතාව සමඟ සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ අතිවිශාල ජනතාවකට සේවා සපයන ආයතනයක් වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන නිරන්තරයෙන් ආදර්ශමත්ව ක්‍රියා කිරීම ඉතා වැදගත් බවත් එහිදී දූෂණ, වංචාවන්ට ඉඩ නොතැබීමට සියලු නිලධාරින් තරයේ ක්‍රියාකළ යුතු බවත් ජනාධිපතිවරයා කළේය.

සේවක පුරප්පාඩු පවතින්නේ නම් උපාධිධාරෙීන් 54,000න් සුදුසු පිරිස් ඒ සඳහා බඳවා ගැනීමට හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තමන් ද රාජ්‍ය සේවකයකු ලෙස වසර 30ක් සේවය කළ අයකු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තමාගේ පාලන කාලය තුළ රාජ්‍ය සේවය විධිමත් හා කාර්යක්ෂම සේවාවක් විය යුතු බවත් අවධාරණය කළේය.

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ රෝහල ඊයේ සවස ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි. මෙම රෝහලේ පවතින අඩුපාඩු සියල්ල කඩිනමින් විසඳා පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ගාලු මුවදොර අභියස පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රය ද ජනාධිපතිවරයා ඊයේ නිරීක්ෂණය කළේය. අවට භූමිය අලංකාරවත් ලෙස පවත්වාගෙන යාම සහ විධිමත් අයුරින් නඩත්තු කිරීම සම්බන්ධයේන ජනාධිපතිවරයා හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජ්‍යෙඨෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *