ආයුර්වේදයට වටිනාකමක් දිය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ආයුර්වේද ක්ෂේත්‍රය නංවාලමින් ජනතාවට ප්‍රයෝජනවත් වන, ලෝකයාට ප්‍රයෝජනවත් වන ආකාරයට කටයුතු කරන්නට වෙහෙස ගතයුතු කාලය එළැඹ ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ආයුර්වේද වෛද්‍ය එස්.එස්. ගුණවර්ධන මහතා විසින් “හෙළ වෙදකම රජරටින් ලෝකයට” යන තේමාව පෙරදැරිව ඉදිකරන ලද අනුරාධපුර ආධිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය ඉකුත්දා (27) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර එහිදී ඒ මහතා මේ බව කියා සිටියේය. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“අපි දන්නවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අපට බටහිරින් බලපෑම් ඇති වන්නට පෙර වසර දෙදහස් ගණනකට වැඩි කාලයක් මේ රටේ පන්සල ආශ්‍රිතව සිදු කළ වෙදකමක් බව. ඒ වගේම අනුරාධපුරයට පැමිණියාම පූජා නගරයේ තිබෙන පුරාවස්තු දෙස බැලූ විට ඉතාම පැහැදිලිව පෙනෙන දෙයක් තමයි මොනතරම් දියුණු ආයුර්වේද ක්‍රමයක් අපේ රටේ තිබුණාද කියන කාරණය. අද අප අතර ඉන්නවා පාරම්පරික වෛද්‍යවරු ඔවුන් සමඟම ඔවුන්ගේ ප්‍රතිකාර ක්‍රම අප අතරින් ඈත්වෙලා යනවා. මේවා පිළිබඳව අවබෝධයක් ඇතිව ඒ පිළිබඳව විශේෂ පර්යේෂණ කරන්නට පහසුකම් මේ රෝහල තුළ සපයා තිබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා.

“මෙවර ආණ්ඩුවෙන් ආයුර්වේද රාජ්‍ය ඇමතිවරයකු පත්කර තිබෙනවා මේවා පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න. ආයුර්වේද පරීක්ෂණාගාරයක් අපට තිබෙනවා. එය කොතරම් දුරට සාර්ථකද කියා දන්නේ නෑ. මොනතරම් පරීක්ෂණ කෙරෙනවාද කියා දන්නේ නැහැ. අඩුමගානේ එම පරීක්ෂණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ඇමතිවරයාටත් ඒ පරීක්ෂණාගාරයේ නිලධාරීන් හමුවු අවස්ථාවේදීත් ඔවුන්ටත් මා පැවසුවා. ඉතිං ඒ පිළිබඳව සොයා බලා වඩාත් ජනතාවට ප්‍රයොජනවත් වන ලෝකයාට ප්‍රයෝජනවත් වන ආකාරයට කටයුතු කරන්නට මහන්සි ගතයුතු කාලය එළැඹී තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *