19 සංශෝධනය ඉවත් කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕනෑ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය පාලනයට විශාල බාධාවක්ව පවතින 19 වැනි සංශෝධනය ඉවත් කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. තමන් වෙත සුවිශේෂී ජයග්‍රහණයක් අත් කර දුන් ජනතාවගේ අපේක්ෂා ඉටුකර ගැනීමට ඉවහල් වන ප්‍රධානතම සාධකය එය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ වැඩකරන රටක් බිහිකිරීමේ අරමුණෙන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සමඟ ජනාධිපති මන්දිරයේ දී පෙරේදා (28) පැවැති හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිවරණයේ දී සිය ජයග්‍රහණය සඳහා බිම් මට්ටමේ විශාල ශක්තියක් වු සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට සහ නියෝජිතයන්ට ජනාධිපතිවරයා සිය ස්තූතිය පුද කළේය.

සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් ජනතාවගේ අපේක්ෂා ඒ ආකාරයෙන්ම ඉටු කිරීම තමා සහ සියලු ජනතා නියෝජිතයන් වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීමක් බවත් ඒ සඳහා කැපවීම සියලු දෙනාගේ වගකිම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කැළි කසළ ඉවත් කිරීමේ සිට ආර්ථිකය නඟා සිටුවන ඉහළම තැන දක්වා අප ක්‍රියාකරන ආකාරය දෙස ජනතාව මහත් වුවමනාවෙන් බලා සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

දෛනික අවශ්‍යථා ඉටුකර ගැනීමේ දී ජනතාව පීඩාවට පත් නොකළ යුතු බවත් කාර්යක්ෂම සහ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් සහතික කිරීම සියලුම රජයේ සේවකයන්ගේ වගකිමක් බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය සේවය සෑමවිටම දුෂණයෙන් තොර විය යුතු බවත් අවධාරණය කළේය. රට සංවර්ධන මගට යොමු කොට ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟමින් තිබිය දී 2015 දී පැවති රජය පරාජයට පත් වූ බව පැවසූ ජනාධිපතිවරයා. ජනතාව එදා රජය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ සාධක අවබෝධ කරගත යුතු බවත් එසේ නැතහොත් ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යා නොහැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.

කඩා වැටුණු ව්‍යාපාර දිරිමත් කර ආයෝජකයන් සුරක්ෂිත කරමින් අහිමි වූ රැකියා නැවත ශ්‍රම බලකායට දායක කළ යුතු බවත් එමඟින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

විදේශීය ආයෝජකයන් 2015ට පෙර රට කෙරෙහි තබා තිබූ විශ්වාසය නැවත ඇති කළ යුතු බවත් රට නිසි මඟට ගැනීමේ ක්‍රියාවලියේ දී විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ දායකත්වය ප්‍රබල ශක්තියක් වනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

අපනයනික කෘෂි භෝග සම්බන්ධ ප්‍රතිලාභ මේ වන විටත් ගොවීන්ට ලැබෙමින් පවතින අතර එමෙන්ම බදු සහන සහ සෙසු උපාය මාර්ගවල ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා කීවේය.

පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි හා ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු ද හමුවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *