නව රජයේ බදු සහන ඊයේ සිට ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පැමිණි වහාම හඳුන්වා දුන් බදු සහන පැකේජය යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට, ව්‍යාපාරිකයන්ට, විදේශගත ශ්‍රමිකයන්ට ඇතුළු විශාල පිරිසකට සහන හිමිවන බදු යෝජනා ඊයේ (01) සිට ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව මෙතෙක් කලක් රු. ලක්ෂයක්ව පැවති උපයන විට බදු අය කිරීමේ සීමාව රු. ලක්ෂ දෙකහමාර දක්වා ඉහළ දැමීම තුළින් හිමිවන සහනය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් ලක්ෂ 6 1/2ක පිරිස අතුරින් වැඩි පිරිසක් වෙත හිමිවනු ඇත.

රජය ලබාදුන් බදු ‍සහන යෝජනාවලියේ වාසිය ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා පළමු පියවර වශයෙනුත් මේ වසරේ ඊයේ පටන් දෙවැනි පියවර වශයෙනුත් ජනතාවට ලැබීම ආරම්භ වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කෙළේය.

රජය ලබාදුන් බදු සහන යටතේ සෘජු බදු සහන ඊයේ පටන් ඇරැඹිණි. ඒවා මෙසේය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගෙන් අය කරනු ලබන උපයන විට බදු සීමාව ඉහළ දැමීම, බැංකු සහ මූල්‍ය ආයතන වලින් ලැබෙන පොලිය මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීම, ආදායම් බදු ප්‍රතිශතය අඩු කිරීම සහ වැට් බද්දට යටත් වන සීමාව ඉහළ නැංවීම ජනවාරි මස 01 සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මෙතෙක් රුපියල් ලක්ෂයක්ව පැවති උපයන විට බදු අය කිරීමේ සීමාව රුපියල් 250000 දක්වා ඉහළ දැමේ. දැනට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගෙන් 650000ක් පමණ දෙනා උපයන විට බදු ගෙවීම කරනු ලබන අතර ඉන් වැඩි පිරිසක් මෙම නව බදු ක්‍රමය යටතේ උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් වේ.

නව බදු ක්‍රමය යටතේ පුද්ගල ආදායම මසකට රුපියල් 250000 ඉක්ම වූ විට ඔවුන් ආදායම් බද්දට යටත් කරනු ලැබේ. රුපියල් 250000 සිට වැඩි වන සෑම රුපියල් 250000ක මුදලකටම 6%, 12% සහ 18% දක්වා ආදායම් බදු ගෙවිය යුතු වේ.

බැංකු තැන්පතුවල පොලී ආදායම මත මෙතෙක් අය කළ 5% රඳවා ගැනීමේ බද්ද ඊයේ සිට ඉවත් කෙරේ. ඊයේ සිට ක්‍රියාත්මක නව බදු සං‍ශෝධන යටතේ රඳවා ගැනීමේ බද්ද අය කරනු ලබන්නේ බැංකු සහ මූල්‍ය ආයතනවල ඇති තැන්පතු පොලී ආදායම රුපියල් 250000ඉක්ම වූ අවස්ථාවල පමණි. එවැනි පොලී ආදායමක් ලබන්නට නම් පුද්ගලයකුගේ තැන්පතුවල රුපියල් මිලියන 250ක් ඉක්ම වූ ශේෂයක් තිබිය යුතුය. බැංකු සහ මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති මුදල්වලින් ලැබෙන පොලී ආදායම මත මෙතෙක් අය කෙරුණු 5%ක රඳවා ගැනීමේ බද්ද ද ඒ අනුව ඉවත් කෙරේ. මෙම බද්ද මිලියන 1.5කට අඩු පොලී ආදායමක් උපයන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හැර සෙසු සියලුම පොලී ආදායම් මත මෙතෙක් අය කරනු ලැබීය.

මේ අතර බදු නිදහස් ආදායම රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 30 දක්වා ඉහළ නැංවුණ අතර වැඩි වන සෑම රුපියල් ලක්ෂ 30 ආදායමක්ම පිළිවෙළින් 6%ක, 12%ක සහ 18%ක උපරිමයක් දක්වා ආදායම් බද්දට යටත් වේ.

එසේම එකතු කළ අගය මත බදු ගෙවීම සඳහා ලියාපදිංචි කිරීමේ වාර්ෂික සැපයුම් සීමාව රුපියල් මිලියන 12 සිට මිලියන 300 දක්වා ඉහළ නැංවීමද ඊයේ 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව වැට් බදු ගෙවිය යුතු ව්‍යාපාරික ප්‍රජාවට ද සහන හිමි වේ.

වත්මන් රජය බලයට පැමිණි පසු පැවැත්වූ පළමු අමාත්‍ය මණ්ඩල හමුවේදීම ජනතාවගේ බදු බර අඩු කිරීම සඳහා පියවර ගැනිණි. එම සහන පියවර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු අතර මුල් පියවර 2019 වසරට අදාළ ලෙස ක්‍රියාත්මක විය.

ඒ අනුව 2019 වසරට අදාළ වන පරිදි කෘෂිකාර්මික, ධීවර, පශු සම්පත් යන ක්ෂේත්‍ර ආදායම් බද්දෙන් නිදහස් කෙරිණි.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ආදායම් බද්ද 28% සිට 14%දක්වා පහත දැමීමට රජය කටයුතු කළේය. සියලුම ආගමික ස්ථාන ආදායම් බද්දෙන් නිදහස් කෙරුණ අතර තොරතුරු තාක්ෂණයට අදාළ සේවාවන් සියලුම බදු වලින් නිදහස් කෙරිණි. විදේශ විනිමය උපයනු ලබන සැපයුම් සහ සේවා ආදායම් බද්දෙන් නිදහස් කර සංක්‍රමණික ප්‍රේෂණ මුළුමණින්ම බදුවලින් නිදහස් කෙරිණි. ජාතිය ගොඩනැඟීමේ බද්ද සහ ආර්ථික සේවා ගාස්තු අහෝසි කෙරිණි.

15%ක්ව තිබූ වැට් බද්ද මූල්‍ය සේවාවන්ට හැර සියලුම භාණ්ඩ හා සේවා වෙනුවෙන් 8% දක්වා පහත දැමීමටද රජය පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *