‘බස් කඩ’ වෙනුවට රජයෙන් ආපන ශාලා පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) –මගී ජනතාව ගසා කමින් මුදල් හම්බ කරන බුෆේ කඩකරුවන් ගැන පැමිණිලි රැසක් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර එම කඩ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවත් ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාශය සදහන් කළේය.

විශේෂයෙන් දුරගමන් සේවා බස් රථ නවත්වන ඇතැම් හෝටල් මෙන්ම මෙම බුෆේ කඩහිමියන් අසාමාන්‍ය මිල ගණන් යටතේ මුදල් ගසා කෑම් සිදු කරන බවත් ඇතැම් හෝටල්වල කිසිදු පහසුකමක් නොමැති අතර ආහාරයට ගැනීමට තරම් සුදුසු නොවන ආහාර සඳහා විශාල මුදලක් අය කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ. එසේම බුෆේ ක්‍රමයට ආහාර ගැනීමේදී කිසියම් ස්ථිර මිලක් අය කර ගත යුතු වුවද මේ අන්දමින් මහජනතාව ගසා කමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජය විසින් කිසියම් පියවරක් ගත යුතු බවද මගී ජනතාව පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස ජාතික ගමනාගමන කොමිසමේ අධික්ෂණය යටතේ දිවයිනේ ස්ථාන කිහිපයක දුරගමන් මගී ප්‍රවාහන සේවාවන්හි යෙදෙන බස් රථ මෙන්ම වෙනත් මගීන් සඳහා සුදුසු පරිදි ආහාරපාන ලබා ගත හැකි ආපනශාලා පද්ධතියක් පිහිටුවීමට තීරණය කර තිබේ. සාධාරණ මිලට පිරිසිදු ආහාරපාන මෙන්ම මගී ජනතාවගේ සනීපාරක්ෂාව සඳහා යෝග්‍ය වැසිකිළි කැසිකිළි ඉදි කිරීමට යෝජිත මෙම ආපනශාලා පද්ධතිය තුළ ස්ථාපිත කෙරේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට නියමිත බවත් මහජනතාවගේ මුදල් ගසාකන මෙවැනි ව්‍යාපාර පිළිබඳ ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *