බුද්ධි අංශ උපරිම මට්ටමකට ගෙන ඒමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛතම අවධානයක් ලබා දී ඇත්තේ රටේ බුද්ධි අංශ සේවාව පුළුල් කිරීමට බවත් තවදුරටත් බුද්ධි අංශ තිබිය යුතු උපරිම මට්ටමට ගෙන ඒමට ක්‍රියා කරන බව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

රටේ ආරක්‍ෂව වෙනුවෙන් බුද්ධි අංශ තොරතුරු තිබුණු විට ආරක්‍ෂක කටයුතු සිදු කිරීමට පහසු බව යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේය.

හමුදාපතිවරයා මේ බව කියා සිටියේ රණවිරු දූ දරු අධ්‍යාපන මූල්‍යාධාර ප්‍රදානෝත්සවයට ඊයේ(06) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

‘නැණ ගුණ ලිරි විරු දරු අභිමන්‘අධ්‍යාපන මූල්‍යාධාර ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රංග ශාලාවේදී යුද්ධ හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා හමුදා යන දෙඅංශයේම සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සිසුන්ට ඉතුරුම් ගිණුම් සහ වෙනත් දිරි දීමනා ලෙස රුපියල් මිලියන 50 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක් මෙලෙස ක්‍රියාවට නැංවුනි. මෙම අධ්‍යාපන මූල්‍යාධාර මගින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස (සා/පෙළ) සහ අ.පො.ස (උ/පෙළ) විභාග වලින් සමත්ව සිටින සිසුන් ආවරණය වන අතර එම සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරන තෙක් දීර්ඝ කාලයක් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

ශිෂ්‍යත්ව වැඩසටහනට අමතරව රුපියල් 10,000, රුපියල් 15,000, දක්වා මූලික තැන්පතුවක් සමඟ අනාගතය සඳහා ඉතිරිකිරීමේ පුහුණුව දිගටම කරගෙන යාමට එම දරුවන් දිරිමත් කිරීමේ නව ව්‍යාපෘතියක් හඳුන්වා දෙනු ලැබීය.

මේ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලත් ශිෂ්‍ය/ශිෂ්‍යාවන් 44දෙනෙකුද, අ.පො.ස (සා/පෙළ) සමත් ශිෂ්‍ය/ශිෂ්‍යාවන් 545දෙනෙකුට සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 924දෙනෙකුට ද අධ්‍යාපන මූල්‍යාධාර හිමි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පරමාර්ථය වන්නේ රටේ සිටින ජනතාව අතර ඉතාම සතුටින්ම සිටින පිරිසක් අතර ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් පත් කිරීම බවත් ඒ වෙනුවෙන් වඩාත් වැදගත්ම දෙය වන්නේ ඔවුන්ගේ සුභ සාධන කටයුතු ඉහළ නැංවීම බවත් යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේඡ්ඡා බළසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ පෙලේ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *