ජනපති ඕස්ට්‍රේලියා අගමැති සමඟ සංවේගය බෙදාගනී

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියාවේ හටගෙන ඇති දරුණුතම ලැව්ගිනි විපත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය සංවේගය පළකළේය. ඒ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා දුරකතනය ඔස්සේ අමතමිනි.

ජනාධිපතිතුමා ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා සමග දුරකතනයෙන් සම්බන්ධවෙමින් ඕස්ට්‍රේලියාව මුහුණදී ඇති ලැව්ගිනි ව්‍යසනය පිළිබද තම සංවේගය පළකළේය. මෙම වකවානුව තුළ ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හටගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් මෙවර එය පෙර නොවූ විරූ තරම් භියකරු හා විනාශකාරී වී තිබේ. ඊට ගොදුරුවූ ඕස්ට්‍රේලියානුවන් 30 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර දිවි අහිමිවී ඇති වනසතුන් සංඛ්‍යාව ලක්ෂ පනහ ඉක්මවයි. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා සමග පැවැත්වූ දුරකතන සංවාදයේ දී එරට නෑ හිතමිතුරන් අහිමිවී පවුල් වෙත සිය බලවත් ශෝකය පළකිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

සුනාමි මෙන්ම වරින්වර ඇතිවූ ගංවතුර ඇතුළු ස්වභාවික විපත්වලට මුහුණදුන් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව ඕස්ට්‍රේලියා ජනතාව මේ මොහොතේ විදින වේදනාව මනාව තේරුම් ගෙන ඇති බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේය.

මේ ආපදා අවස්ථාවේදී ඕස්ට්‍රේලියා ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාව තේ තෝගයක් පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *