රන්ජන්ගේ CD තැටිවලින් හෙළිවූ තොරතුරු සොයන්න ජනාධිපති කොමිසමක් ඕනෑ

(කොළඹ, ලංකාපුවත්) –රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබී සොයාගත් හඬ තැටි සම්බන්ධයෙන් හෙළිදරව් වන කරුණු ගැන සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මැති ඇමැතිවරු ඉල්ලා සිටිති.

පසුගිය ආණ්ඩු සමයේ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා ප්‍රමුඛ සැලකිය යුතු පිරිසකට මරණ දණ්ඩනය පවා ලබාදීමේ දී රන්ජන් රාමනායක මහතාගේ මැදිහත්වීමක් සිදු වූ ආකාරය මේ හඬ තැටිවලින් හුවාදැක්වෙන බව ඔවුහු අවධාරණය කරති. එෆ්. සී. අයි. ඩී. මෙන්ම විශේෂ අධිකරණ ඇති කැර අරලියගහ මන්දිර භූමියේ සිට දේශපාලන දඩයම පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ ආකාරය මෙන්ම ‍එම දඩයම ක්‍රියාත්මක කරන විට එක්සත් ජාතික පක්ෂය පමණක් නොව පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා මෙන්ම ජනතා විමුක්ති පෙරමු‍ණ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක ඇතුළු සියලුදෙනාම අරලියගහ මන්දිර භූමියේ සිට අධිකරණයට බලපෑම් කළ ආකාරයත් මේ මඟින් හෙළිදරව් කර තිබෙන බවත් ඔව්හු පවසති.

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ ප්‍රකාශය තුළින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට දඬුවම් දීමට බලපෑම් පැමිණි අයුරු ද සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කළ පරිදි කොහොමද ඔහුට තර්ජනය කෙළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ චම්පික රණවක ඔවුන්ට අවශ්‍ය කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට යන්න මේ හඬපටවලින් හෙළිදරව් වන්නේ යැයි ද කියා සිටියේය. අවසානයට එෆ්. සී. අයි. ඩී. යේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදු කළ අනාවරණයෙන් රජයේ කණ්ඩායම් බලපෑම් කෙළේ කෙසේද යන්න පැහැදිලි වන අතර, මේ හඬපට හා බලද්දී තමන්ට ඉතා පැහැදිලිව පෙනි යන්නේ එවකට පැවැති ආණ්ඩුව රන්ජන් රාමනායක සම්බන්ධීකරණ පුද්ගලයා හැටියට භාවිතා කැර විධායකයත්, ව්‍යවස්ථාදායකයත්, අධිකරණයටත් බලපෑම් කැර දේශපාලන වශයෙන් ඔවුන්ට අභියෝගයක් වන සියලු දෙනා අත්අඩංගුවට ගෙන මරණ දණ්ඩනය දක්වා තීන්දු ලබාදීමට මැදිහත් වීමක් සිදුකරලා තිබෙන්නේ යැයි ද කියා සිටියේය. තමන් ජනාධිපතිවරයාට කියා සිටින්නේ මෙය ඉතා බරපතළ කාරණයක් හෙයින් වහාම විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර මේ කරුණු සොයා බලන ලෙසයි.

ශානි අබේසේකර ඇතුළු ‍මේ හඬපටවලට සම්බන්ධව සිටින සියලුදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආණ්ඩුව මැදිහත්වෙලා කළ යුතුයි යනුවෙන් ද ඔවුන් කියා සිටියේය. වත්මන් ආණ්ඩුව වගකියන ආණ්ඩුවක් ලෙස ඒ පරීක්ෂණ ඉතාම කඩිනමින් සිදුකරයි කියා අපි ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන බව ද කීය. රන්ජන් රාමනායක අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරතුමියලාගේ උසස්වීම්වලට මැදිහත්වීමක් බලපෑමක් කර තිබෙන බව මේ හඬපටවලින් පෙනී යන හෙයින් මේ හඬපටවල තිබෙන සත්‍යතාවය, ඒ හඬපටවලට කවුරුන් සම්බන්ධව සිටින්නේද යන්න සොයා බැලිය යුතු බව ද ඔවුහු පෙන්වා දුන්හ. අධිකරණයට මහා බරපතළ අවමානයක් රන්ජන් රාමනායක සිදුකර තිබෙන අතර අධිකරණයේ ස්වාධීනත්වය එදා ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරයෙක් අමු අමුවේ කෙලෙසා තිබෙන බව ඉතාම පැහැදිලිව පෙනී යන්නේ යැයි ද කියා සිටියේය.

ඒ අනුව ශානි අබේසේකර විසින් පරීක්ෂණ මෙහෙයවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර දැනට මරණ දඬුවම ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම අධිකරණයෙන් නියමවීමටත් පෙර එම මරණ දඬුවම හිමිවන බවට ශානි අබේසේකර සියයට දහසකින් විශ්වාස බව රන්ජන් රාමනායක පවසයි.

එහිදී රන්ජන් රාමනායක පිළිතුරු දෙමින් කියා සිටින්නේ ශානි ඔබගේ ටාගට් එක දුමින්ද හිරේට යැවීමයි. මගේ ටාගට් එ‍කත් දුමින්ද හිරේ යැවීමයි. භාරතගේ වයිෆ් සහ හිරුණිකාගේත් ටාගට් එක දුමින්ද හිරේට යැවීමයි. පවසද්දී ශානි කියා සිටින්නේ එය සියයට දහසකින් ස්ථිර බවයි.

මේ අතර ශානි අබේසේකර විසින් රන්ජන්ට පවසන ලද ඇතැම් තොරතුරු කිසිසේත් හෙළි නොකරන ලෙසත් එසේ හෙළි නොකර සිටීම සඳහා ඕනෑම අවස්ථාවක තමාට රන්ජන්ගේ නිවසේ කුලී වැඩ කිරීමටත්, වළං සේදීමටත් හැකි බව පවසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ලංකාවේ ඉහළම පිළිගැනීමක් ඇති ආයතනයක් දැඩි සේ අපකීර්තියට පත්කර තිබේ.

මෙම සියලු තොරතුරු ඇතුළත් හඬ පටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *