රජයේ නිවාස වැඩසටහන යටතේ නිවාස 14,022ක්

(කොළඹ, ලංකාපුවත්) – ‘ගමට ගෙයක් – රටට හෙටක්’ – සෑම පවුලකටම සුවපහසු නිවසක් ලබා දීමේ රජයේ නිවාස වැඩසටහන යටතේ නිවාස 14,022 ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, මෙම වැඩසටහනේ මුල් අදියර ලෙස, සෑම ග්‍රාම නිලධාරි වසමකම ප්‍රමුඛතාව මත තෝරා ගත් එක් දිළිඳු පවුලකට නිවසක් ඉදි කිරීමට හෝ වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ හයක (06) ආධාරයක්, ලබා දෙනු ඇත.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ඉදිරිපත් කළ, ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම සුවපහසු නිවසක ජීවත් වීමට ඉඩ සලසා දීම තුළින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ අරමුණ සාක්ෂාත් කරනු පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය විසින් ‘ගමට ගෙයක් – රටට හෙටක්’ නිවාස වැඩසටහන කඩිනම් මෙන් ම තිරසර සංවර්ධන වැඩසටහනක් වශයෙන් 2020 වර්ෂයේදී ආරම්භ කිරීමට යෝජනා කර ඇත.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් හා ග්‍රාමීය මට්ටමේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන හා ප්‍රජාවගෙන් සැදුම් ලත් ප්‍රජා කමිටු හරහා 2020 ජනවාරි මාසයේ සිට දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉදිකිරීම් ප්‍රගතිය මත පදනම් ව වාරික ලෙස ලබා දෙමින් නිවාස 14,022 ක් ඉදිකිරීම සඳහා මෙම ප්‍රතිපාදන හිමිවන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ,උසස් අධ්‍යාපන ,තාක්ෂණ හා නවොත්පාදන ඇමැති සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ(9) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

පසුගිය කාලයේ ජනතාවට නිවාස ලබා දෙන්නට යැයි කියමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුවද එයින් දිළිඳු ජනතාවගේණය බර තවත් වැඩිවූවා මිස ඔවුන්ගේ නිවාස ගැටලුවට විසඳුම් නොලැබුණු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ ආරම්භ කළ සමහර නිවාස ව්‍යාපෘතිවල ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක් වැය කර ඇති බවද ඇමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *