ගුරුතරුව බැස යයි

(කොළඹ, ලංකාපුවත්) –ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම ප්‍රවීණ රංගවේදීයෙකු වූ ආචාර්ය ජයලත් මනෝරත්න මහතා ඊයේ (12) අභාවප්‍රාප්ත විය.

මනෝරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවස මේවන විට තැන්පත් කර ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා(15) සිදු කිරීමට සැලසුම් කර තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 71 වැනි වියෙහි පසු විය. වේදිකාවේ, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සිනමාවේද සුවිශේෂී රංග කුසලතා විදහා දැක්වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් 1948 වසරේදී උපත ලැබීය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ග්‍රාමයේ උපත ලද ඒ මහතා දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් සහ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. ඔහු මුල්වරට වේදිකාවට පිවිසෙන්නේ සුනිල් ශ්‍රියානන්දයන්ගේ ‘අස්ප ගුඩුන්’ නම් පාසල් වේදිකා නාට්‍යයෙනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ මහතාට ‘මනමේ, ‘සිංහබාහු’ වැනි නාටකවල පසුබිම් චරිත නිරූපනයට අවස්ථාව උදා වූ අතර ‘පේමතෝ ජායති සෝකෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමටද අවස්ථාව හිමි විය. ‘මහගිරි දඹ’ ජයලත් මනෝරත්නයන් රචනා කොට නිෂ්පාදනය කළ ප්‍රථම වේදිකා නාට්‍යයයි. අන්දරේලා, පුත්‍ර සමාගම, සඳගිර, ගුරුතරුව, වෙස්සන්තර, සොක්‍රටීස්, රතු හැට්ටකාරී, නරියා සහ කේජු, කනේරුමල්, සුදුරෙදි හොරු, බූරුවා මහත්තයා සහ සෙල්ලම් නිරිඳු ආදී වේදිකා නාට්‍ය රැසකට ඔහු අංශ ගණනාවක් ඔස්සේ දායකත්වය දැක්වීය.

එමෙන්ම බෝඩිම, කන්දෙගෙදර, පස්සෙ ගෙනා මනමාලි, ගම්පෙරළිය, මඩොල්දූව, දූදරුවෝ, හිරුට මුවාවෙන්, ගජමන් නෝනා, සකිසඳ එලියස් ආදි ටෙලිනාට්‍ය රැසකටද රංගනයෙන් දායක වූ ජයලත් මනෝරත්නයන් හොඳම වේදිකා නළුවා, ටෙලි නාට්‍ය නළුවා මෙන්ම හොඳම චිත්‍රපට නළුවා යන අංශ තුනෙන්ම සම්මානයට පාත්‍ර විය. වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු වූ ඒ මහතා කලක් රෝගාතුරව සිටි අතර ඊයේ අලුයම සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *