වලාන දූෂණ මර්දන නිලධාරීන් ලෙස පෙනී සිටි 03ක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) –වලාන දු‍ෂණ මර්දන අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හරබණ පොලිස් වසමේ මීගස්වැව ප්‍රදේශයේ ඊයේ(12) ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් පානදුර වලාන දුෂණ මර්දන අංශයේ නිලධාරීන් බව පවසමින් කාන්තාවන් දෙදෙනෙකු පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හබරණ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

අනතුරුව ඊට සම්බන්ධ තිදෙනෙකු ඔවුන් විසින් භාවිතා කරන ලද පොලිස් ලාංඡනය සහිත නිල් පාට රෙදි තොප්පියක්, පොලිස් නාමය සහිත හැඳුනුම්පත් කවරයක් හා පොලිස් ජීප් රථයකට සමාන කළු පැහැදි ජිප් රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය කොට්ඨාසය සදහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30, 39 ක් හා 56 ක පසුවන කුරුණෑගල, ත්‍රිකුණාමලය හා බුත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් වලාන දුෂණ මර්දන අංශයේ නිලධාරින් බව හඟවමින් යම් යම් ස්ථානවලට ගොස් මහජනතාව නොමඟ යවමින් කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇත.

සැකකරුවන් අද(13) හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

වලාන දුෂණ මර්දන අංශයේ නිලධාරීන් බව පවසමින් මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් යම් සැකකටයුතු අවස්ථාවක, ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පානදුර වලාන දුෂණ මර්දන අංශයේ පහත දුරකථන අංකයට අමතා තොරතුරු ලබා ගත හැකිය.

යම් දුෂණ කටයුත්තක් සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් ඒ පිළිබඳව වලාන දුෂණ මර්දන අංශයේ 0382 234 314 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *