මනෝරත්නයන් දැයෙන් සමු ගනී

(කොළඹ, ලංකාපුවත්) – ආචාර්ය ජයලත් මනෝරත්නයන් තම නිර්මාණකරණයට ගැමි පරිසරයෙන් ලද අත්දැකීම් සහ අත් නොහල ගැමිකම පාදක වී යැයි ද, ඔහුගේ විෂය පරාසය තුළින් අපේක්ෂා කළ උත්තර සාරධර්ම සුරකින සමාජයක් සේම ආදරණීය පුරවැසියකු ගොඩනැඟීමේ පියවරට රට අවතීර්ණ වී ඇති මේ මොහොතේ ඔහුගේ අභාවය සාහිත්‍ය මෙන්ම සාමාජීය වශයෙන් ද බලවත් පාඩුවක් බව තමන්ගේ හැඟීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ එම නාට්‍යවේදියාගේ අභාවය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමිනි.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ, ශ්‍රී ලාංකික කලා කෙත පෝෂණයට අමිල මෙහෙවරක් කළ ප්‍රතිභාන්විත නාට්‍යවේදියකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අභාවය නිසා සංවේගයට පත් ඔහුගේ රසික සමූහයා සමඟ මම ද සංවේගයට පත් වුණෙමි. ඔහුගේ කලා නිර්මාණවල අතීත මතකයන් අතර මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණවලින් කුසලතා පුබුදු කරගත් ජයලත් මනෝරත්නයන් ශ්‍රී ලාංකික වේදිකාව රංගනයෙන් හා ප්‍රතිභාවෙන් අතික්‍රමණය කළ අග්‍රගණ්‍ය නාට්‍යකරුවකු බව අවිවාදයෙන් පිළිගනිමු.

ඔහු සාම්ප්‍රදායික නාට්‍ය කලාව හදාරා ඒ තුළින් නව මානයක් සොයා කළ නව නිර්මාණවලින් අපගේ රඟමඩලට නව අගයක් එක් කළේය. ඒ නිසාම ඔහුගේ නිර්මාණ වටා විශාල රසික පිරිසක් රොඳ බැඳ ගත්හ. ශ්‍රී ලාංකික වේදිකාවේ විශිෂ්ටතම නිර්මාණකරුවන්ගේ නාම ලේඛනයට ජයලත් මනෝරත්න නාමය ද එක්වී ඇත. නාට්‍ය කලාව දිග්විජය කළ ජයලත් මනෝරත්න තුළ පැවැති ගැඹුරු හැදෑරීම තවත් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දේශීය කලාව පෝෂණය කළේය. සිනමාව, රූපවාහිනිය, ගේය පද රචනය, තිර පිටපත් රචනය, සාහිත්‍ය විචාරය ආදී බොහෝ ක්ෂේත්‍ර ඒ අතර වේ. විශේෂයෙන්ම මෙහි විශේෂත්වය වන්නේ ඔහු සෑම අංශයකින්ම යහපත් සමාජයක් ප්‍රාර්ථනා කිරීමයි.

මනෝරත්නයන් ගැමි පරිසරයෙන් ලද අත්දැකීම් සහ අත් නොහල ගැමිකම ද ඊට පාදක වන්නට ඇතැයි මම විශ්වාස කරමි. ජයලත් මනෝරත්නයන්ගේ විෂය පරාසය තුළින් අපේක්ෂා කළ උත්තර සාරධර්ම සුරකින සමාජයක් සේම ආදරණීය පුරවැසියකු ගොඩනැඟීමේ පියවරට රට අවතීර්ණ වී ඇති මොහොතේ ඔහුගේ අභාවය සාහිත්‍ය මෙන්ම සාමාජීය වශයෙන් ද බලවත් පාඩුවක් බව මගේ හැඟීමයි.

ජයලත් ම‍නෝරත්නයන්ගේ අභාවයෙන් ශෝකයට පත් බිරිඳ ජයන්ති, ආදරණීය පුතුණුවන් භානුක සහ උත්පලා දියණිය ඇතුළු පවුලේ ඥාතීන්ටත් ඔහුගේ රසික සහෘදයන්ටත් මාගේ බලවත් සංවේගය පළ කර සිටිමි.

ඔහුගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක ප්‍රකාශය,

ශ්‍රී ලාංකීය සාරධර්ම හා සංස්කෘතිය ආරක්ෂා වන අයුරින් නිර්මාණ බිහිකරමින් ලාංකීය කලා ක්ෂේත්‍රයට අද්විතීය මෙහෙවරක් කළ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අභාවය ගැන සැලවීමෙන් මා මහත්සේ කනගාටුවට පත් වුණෙමි. ආචාර්ය ජයලත් මනෝරත්නයන් ප්‍රේක්ෂක පොදු ජනයාගේ ද විද්වත් පාර්ශ්වයන්ගේ ද සම්භාවනාවට පාත්‍ර වූ විශිෂ්ට ගණයේ කලාකරුවෙකි.

ඔහු කවියෙක්, ගීත රචකයෙක්, කෙටි කතාකරුවෙක්, නාට්‍ය රචකයෙක් මෙන්ම, ඉතා විශිෂ්ට ගණයේ රංගන ශිල්පියකු ලෙස සෑම සමාජ ස්ථරයකම සිත් ඇද බැඳගත් මෙන්ම ගෞරවාදරයට ලක් වූ කලාකරුවකු විය. සිංහබාහු, මනමේ, මහාසාර, රතු හැට්ටකාරී, ගජමන් පුවත, නරිබෑණා, තාරාවෝ ඉගිලෙති, මායාදේවී ආදී වූ වේදිකා නාට්‍ය අසූවකට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් ද පුත්‍ර සමාගම, තලමල පිපිලා, ගුරු තරුව, සඳගිර, අන්දරේලා, ලෝකය තනි යායක්, හඬ නිහඬ යන වේදිකා නාට්‍ය රංගනයෙන් රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ද සෙක්කු ගෙදර, තුන්පත් රටාවක ලස්සන ආදී වශයෙන් මෙතුමා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යවලින් ද ඔහු මෙරට ජනතාව අමන්දානන්දයට පත් කළේය.

වේදිකාවේ සිටි ඔහු ශ්‍රී ලංකාවේ රූපවාහිනි මාධ්‍ය ආරම්භ කිරීමත් සමඟ ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු ලෙස ජනතාව අතරට තව තවත් සමීප විය. නාට්‍ය රංගන ශිල්පියකුට අමතරව ප්‍රවීණ ගත්කතුවරයකු ද වන ඔහු විසින් වැහි එනතුරු, දොළොස්මහේ පහන, දවස තවමත් තරුණයි, ගල් වඩුරාළ, සිංදුයි බිංදුයි වැනි ප්‍රසිද්ධ ග්‍රන්ථයන් ද ඔහු විසින් රචනා කර ඇත.

කලාකරුවකු ලෙස පමණක් නොව අවංක රාජ්‍ය නිලධාරියකු ලෙස ද ඔහු වසර ගණනාවක් ජනතාවට සේවය කර ඇත. ශ්‍රේෂ්ඨ කෘතහස්ත කලාකරුවකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරන අතර, එතුමාගේ වියෝවෙන් ශෝකයට පත් ඔහුගේ ආදරණීය බිරිය තමරා ජයන්ති මහත්මියටත්, දූ දරුවන් ඇතුළු පවුලේ සැමදෙනාටත්, ඔහුට ආදරය කළ සැමදෙනාටත්, ඥාති හිතමිත්‍රාදීන් සැමදෙනාටත් මාගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරමි.

මේ අවස්ථාවේ අනුශාසනාවක් කළ මහාචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ මෙසේ කීහ, අද අප රැස් වී සිටින්නේ රටට මහත් කලාත්මක මෙහෙවරක් කළ ශිල්පියකුට අවසන් ගෞරව දැක්වීමටයි. එතුමා ගමේ ඉදලා නගරය ජයලත් අයෙක්. එතුමා පාසලේ සිට සරසවිය ජයලත් අයෙක්. එතුමා ප්‍රේක්ෂකාගාරයේ සිට රඟමඩල ජයලත් අයෙක්. ඒ මනෝරම්‍ය ජයලත් මනෝරත්න කලාකාරයාගේ ජීවිතයට අපි බුහුමන් දක්වා අවසානයි.

මම කැලණිය විශ්වවිද‍්‍යාලයේ මහාචාර්ය හාමුදුරු කෙනෙක් හැටියට සඳහන් කළ යුතුයි. ආචාර්ය ජයලත් මනෝරත්නයන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ආචාර්යවරයකු හැටියට දීර්ඝ කාලයක් ශිෂ්‍යයන්ට නාට්‍ය කලාව පිළිබඳ ඉගැන් වූ බව. එතුමා භරත මුණි විසින් රචිත චතුර් අභිනයන් අතරින් අන් අභිනයන්ට වඩා ඉතාම පැහැදිලිව ආංගික අභිනය ප්‍රගුණ කළ අයෙක්. එතුමා සිය රංග වේදිකාවට ගොඩවෙන්නේ සියලු රංගධරයන් දෙවැනි තැනට පත් කරලා. ප්‍රවීණ කලාකාරයෙක් යනු ප්‍රතිභා පූර්ණ කලාකාරයෙක්. අපූර්ව වස්තු නිර්මාණඃ ක්ෂමා ප්‍රතිභා යැයි සඳහන් කර ඇති ආකාරයට පෙර නොවූ විරූ අලුත් දෙයක් නිර්මාණය කිරීම ප්‍රතිභාව ලෙස සැලකිය හැකියි.

අනතුරුව අනුශාසනාව සිදු ක‍ළේ ගොම්බද්දල දමිත නාහිමියන්ය, අද මේ සංඝයා වහන්සේ රැස්වී සිටින්නේ මේ ශ්‍රේෂ්ඨ කලාකරුවාට අවසන් ගෞරව දක්වන්නට තිබෙන අවස්ථාවේ හදවතින් බැඳුණු යම් කිසි සෙනෙහසක් තිබූ නිසායි. ඒ කලාකරුවාට මේ සෙනෙහස දක්වන්නේ ඔහු කලාවට කර ඇති සේවය අතිමහත් නිසාමයි. ඔහුගේ නිර්මාණවල තිබුණා සමාජයේ ඇති කඩාවැටීම මැනැවින් නිරූපණය කිරීමක්. දේශපාලනය තුළ වේවා, ආර්ථිකය තුළ වේවා, සමාජය තුළ වේවා පවතින ගරා වැටුණු ලක්ෂණ, එකින් එක සමාජ යථාර්ථයන් ඔහුගේ නිර්මාණවලින් මනාව පෙන්නුම් කෙරුණා.

මම කැමැතියි මේ ජයලත් මනෝරත්න චරිතයේ තවත් පැත්තක් ගෙන හැර දක්වන්නට, ඔහු හොඳ සමාජ සේවකයෙක්. අවිවේකී ජීවිතයක් ගත කළත් සමාජ සත්කාර වැඩසටහන්වලට එතුමා සම්බන්ධ වුණා. එතුමා පන්සල කේන්ද්‍ර කරගත් විවිධ වැඩසටහන්වලට කැපවී දායකත්වය සැපයුවා. එතුමා තමන්ගේ දක්ෂතාව ඉදිරි පරම්පරාවට දායාද කිරීමට කැපවී කටයුතු කළා.

ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් අනුශාසනාවක් කරමින්, මිනිස් සමාජයේ ඉතාම උසස් වූ මිනිස් ගුණ ධර්ම ඉතුරු කොට ගිය කෙනෙක් හැටියට මම ඔහුව හැඳින්වීමට කැමැතියි යැයි කීහ.

මේ අවස්ථාවට අතපත්තුකන්දේ ආනන්ද නායක හිමි, මුල්කිරිගල වජිරවංශ නායක හිමි, පරකඩුවේ සරණංකර නායක හිමි, අතුරලියේ ආනන්ද නායක හිමි, සුමුදුපැල්ලේ චන්දාරාම නායක හිමි, ගාල්ලේ අතුලනන්ද නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මේ අවස්ථාවේ අදහස් පළ කරමින් ජයලත් මනෝරත්න ශිල්පියා තමන්ගේ සියලු නාට්‍ය නිර්මාණවල කලාකරුවකු කේන්ද්‍ර කරගෙන සමාජ කථිකාවක් ගොඩනැඟූ බවත් සමාජයෙන් සාහිත්‍යය ඉවත් කිරීමට ගෙන ගිය සාහිත්‍ය සහ කලාව ගැන එහි පුළුල් දැක්මක් පැවැති බවත් කීවේය.

කලා ශිල්පීහු, කලා රසිකයෝ ඇතුළු අති විශාල පිරිසක් බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ පැවැති අවමංගල්‍ය උත්සවයට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *