ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නව රක්ෂණ ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) –රට පුරා ප්‍රාදේශීයව විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමටත් , එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවන දීමනා නිසි පරිදි ලැබීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ( 23) පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේ දී මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සාමාජිකයන් හමු වූ අවස්ථාවේ දීය.

පාර්ලිමේන්තු කටයුතු දැක බලා ගැනීම සඳහා එහි පැමිණි එම මාධ්‍යවේදීන් කණ්ඩායමට අගමැතිතුමන් හමු වී කෙටි සාකච්ඡාවක යෙදීමට ද අවස්ථාව ලැබිණි.

එහිදී ප්‍රාදේශීයව විසිරී සිටින මාධ්‍යවේදීන්ට මුහුණ දීමට ඇති අපහසු තත්ත්වයන් සහ අභියෝග පිළිබඳ අගමැතිතුමාව දැනුවත් කිරීමට ඔවුන් පියවර ගත්තේය.

මෙම අවස්ථාවේදී කරුණු දැක්වූ මාධ්‍යවෙිදී ජාතික එකමුතුවේ ජාතික සංවිධායක සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා එම ගැටලුව පිළිබඳ අගමැතිතුමා දැනුවත් කළේය.

මේ වන විටත් පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න ගමගේ මහතා රිය අනතුරකට ලක්ව එක්තැන්ව සිටින බවත්, ඔහුට කිසිම පිළිසරණක් නොමැති බවත්, මේ ආකාරයට ප්‍රාදේශීයව කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවට පත්වන අවස්ථා ඇති බවත් ආරියදාස මහතා පෙන්වා දුන්නේය.

වෘත්තීය වශයෙන් කටයුතුකරන මාධ්‍යවේදීන්ට ගෙවීම් සිදු කිරීම ද මාධ්‍ය ආයතන වෙතින් නිසි නියාමනයකට අනුව සිදු නොවන බැවින් නිසි ලෙස මුදල් ගෙවීම් ලබාගත නොහැකිව ඔවුන්ට වෘත්තීය වගකීම් ඉදිරියට ගෙන යාම අපහසු වී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මාධ්‍යවේදීන් දැක්වූ අදහස් සම්බන්ධව මැදිහත්වීමක් සිදුකරන බව පැවසූ අගමැතිතුමා ප්‍රාදේශීයව කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුකරන බවද සඳහන් කළේය. එමෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවන අවස්ථාවේ දී ඔවුන් දැනුවත් කර ප්‍රාදේශීයව කටයුතු කරන මාධ්‍යවේදීන්ට නිසි වේලාවට ගෙවීම හිමිවන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවද අගමැතිතුමා කීවේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා ද එක්ව සිටි අතර, මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සභාපති ගැමුණු ධර්ම ශ්‍රී හේරත්, එහි ලේකම් මහේෂ් කීර්තිරත්න ඇතුළු මාධ්‍යවේදීන් 20කට වැඩි පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *