රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමික වැටුප් ගෙවීමට රජයෙන් පරිපූරක ඇස්තමේන්තුවක්

(කොළඹ, ලංකාපුවත්) –රජයේ සේවකයන්ගේ වැඩි කරන ලද සංයුක්ත දීමනා සහ විශ්‍රාමිකයන්ගේ වැඩි කළ වැටුප් ගෙවීම සඳහා රජය පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරගෙන යන බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

දැනට අතුරු සම්මත ගිණුමක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම වැටුප් වැඩි වීම් සඳහා ප්‍රතිපාදන ලබා ගත නොහැකිය. එබැවින් දැනට මෙම ගෙවීම් ප්‍රමාද වී ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනමාධ්‍යවේදීන් සඳහා වන ඇසිදිසි ණය යෝජනා ක්‍රමය තවමත් ක්‍රියාත්මක වන බවත් 2019 නොවැම්බර් 20 වැනිදාට පෙර අයදුම් කර ඇති ණය අයදුම්කරුවන්ට මහජන බැංකුවෙන් හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් එම ණය ලබා ගත හැකි බවත්ය. මාධ්‍යවේදීන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන මගින් මාධ්‍යවේදීන්ට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ශිෂ්‍යත්වද ලබා දෙන අතර ඒ සඳහා පෙබරවාරි මස 07 දිනට පෙර අයදුම් කළ යුතු බව රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *