කොරෝනා පාලනයට අවශ්‍ය සියලු පියවර රජය අරන්

(කොළඹ, ලංකාපුවත්) –රටේ මේ දිනවල කතාබහට ලක්වන කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර රජයෙන් ගෙන ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

කොරෝනා වෛරසය පාලනය කිරීමට රජයෙන් සියලු පියවර ගෙන ඇති නිසා ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවට ද අගමැතිවරයා අවධාරණය කළේය.

මොරටුව බෞද්ධ මන්දිරස්ථයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් නිරාවරණය හා අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පූජෝත්සවයට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව ඊයේ (30) ප්‍රකාශ කළේය.

මුඛ ආවරණ ඉන්දියාවෙන් ගෙන්වන ලෙස ඇතැම් අය රජයෙන් ඉල්ලීම් කරන බවත් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු තත්ත්වයක් තවම උදා වී නොමැති බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

අද මෙතැන රැස්ව සිටින කිසි කෙනෙක් මුඛ ආවරණයක් පැළඳ නොසිටීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් ඊයේ අමාත්‍යාංශයට යනවිට තරුණයන් හතරදෙනකු මුඛ ආවරණ පැළඳගෙන හිටගෙන පාර දිහා බලාගෙන සිටිනවා දුටු තමාට එය විලාසිතාවක් ද යන්න සිතා ගත නොහැකි තත්ත්වයක් උදා වූ බවත් අගමැතිවරයා පැවැසුවේය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ජනතාව ඇති කර නොගත යුතු යැයි ද, වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා වෛද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් යැයි ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *