(කොළඹ, ලංකාපුවත්) – දේශපාලන මඩගොහොරුවෙන් මිදුණු යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීමට එක්වන්නැයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නව උත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ඉල්ලා සිටියේය.
රාජ්‍ය මාධ්‍ය ඇතුළු මෙරට මාධ්‍ය ආයතන විධිමත්ව පවත්වාගෙනයාම සහ නියාමනය අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වාදුන් ඇමැතිවරයා, ඒ සඳහා වත්මන් රජය විශේෂ විද්වත් කමිටුවක් පත්කැර ඇති බවත්, එම විද්වත් කමිටුවේ නිර්දේශ හා නියාමන ප්‍රකාරව නීති සම්පාදනය කරන බවත් පැවසීය.
එම විකාශන පනත් කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා වූ විද්වත් කමිටුවට විපක්ෂයේ අදහස්ද යොමුකරන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරයා පත්කැර ඇති විද්වත් කමිටුව දේශපාලන කමිටුවක් නොවන බවද කීවේය.
පසුගිය වසර 5 තුළ රාජ්‍ය මාධ්‍ය ක්‍රියාත්මක වූ ආකාරය බැලීමේදී විපක්ෂයට කිසිදු අවස්ථාවක් නොතිබූ බව පෙන්වා දුන් ඇමැතිවරයා, මඩ දේශපාලනයෙන්, ද්වේශ සහගතව උපහාසාත්මකව සිදුකරන පුද්ගල ඝාතන වෙනුවට විධිමත් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කළ යුතු බවද පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්න දෙකකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.
2015 පසුව මධ්‍යස්ථ මාධ්‍ය ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක වූ බවට ප්රශ්නය යොමු කරමින් හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැවසූ අදහසට පිළිතුරු ලබාදුන් බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
පසුගිය රජයේ මාධ්‍ය කොතරම් මධ්‍යස්ථ වුණාද කිව්වොත්, ගෝඨාභය රාජපක්ෂ මහතා නොකළ අපරාධ පිළිබඳව මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට ඉදිරිපත් වූ පුද්ගලයින් පවා මාධ්‍යයේ සිටි බවත්, මිනිසුන් කිඹුලන්ට දීලා ඒ කිඹුල්ලු සිටි තැන් පවා ඇති බව මාධ්‍ය ප්‍රචාරය වූ බව කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට බොරු ප්‍රචාර නිසා ඇතිවූ අපහාසය, අපකීර්තිය සසර වසනතුරු මෙලොව වසන තුරු කූඹියෙකුටවත් නොවේවායි පැවසීය.
ගුවන්විදුලියේ සුභාරති වැඩසටහන තුළින් පසුගිය රජය සමයේ විපක්ෂයට කිසිදු අවස්ථාවක් හිමිනොවූ බව පෙන්වා දුන් ඇමැතිවරයා වත්මන් රජය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුදෙනාට අවස්ථාවට උදාකර දෙන බවත්, එසේ යම් පැමිණිල්ලක් තිබෙන්නේ නම් තමන්ට ඉදිරිපත් කරන ලෙසත් පැවසීය.