රැකියා විරහිත උපාධිධාරින් රජයේ ආයතන 12කට යොමු කිරීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – රැකියා විරහිත උපාධිධාරින් 50,000ක් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගන්නා උපාධීධාරීන් රජයේ ආයතන 12 කට යොමු කිරීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවිණි.

ඒ අනුව මෙසේ බඳවා ගන්න‍ා උපාධීධාරින් , අධ්‍යාපන අමාත්‍යාංශය (සෑම පාසලකම 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් විෂය නිර්දේශයට “නායකත්වය” විෂය ඇතුළත් කර එම විෂය ඉගැන්වීම සඳහාත්, ග්‍රාමීය හා වතු පාසල්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහාත්) වාරිමාර්ග දෙපාර්තමේන්තුව (ග්‍රාමීය වාරිමාර්ග නඩත්තු), ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව (ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධන), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වනජීවී සංරක්ෂණ හා ප්‍රජා ව්‍යාපෘති), ආයුර්වේද දෙපාර්තමේන්තුව (ප්‍රාදේශීය ආයුර්වේද රෝහල්), සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය (ග්‍රාමීය රෝහල්/ඩිස්පෙන්සරි), මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (ප්‍රාදේශීය කෘෂි සේවා හා තාක්ෂණික සේවා),. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (සුළු අපනයන භෝග ව්‍යාපෘති),. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (සත්ත්ව ගොවි සංවර්ධන), තක්සේරු දෙපාර්තමේන්තුව සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙනු ඇත.

විශේෂයෙන්ම ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල රජයේ නිලධාරින්ගේ හිඟය මගහරවා ග්‍රාමීය ජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමේ පහසුකම් ලබා දීම මෙම උපාධීධාරින් බඳවා ගැනීමේ එක් අරමුණක් වන බව අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැපිනට් ප්‍රකාශක, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ,උසස් අධ්‍යාපන තාන්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම උපාධීධාරින් මෙම මාර්තු පළමු වැනිදා සිට වසර 2021 මාර්තු 01 දා දක්වා වසරක පුහුණු කාලයකට යටත්ව තම රැකියා කටයුතු අරඹණ අතර පුහුණු කාලයෙන් අනතුරුව වසර 05ක කාලයක් මුල් පත්වීම් ලද රැකියා ස්ථානයේම සේවය කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්/පළාත් මට්ටමින් ස්ථාන මාරු ලබාගැනීමට අවස්ථාව සැලසේ.

මිට පෙර අවස්ථා කිහිපයකදී උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර ඇති නමුත් තවදුරටත් දිවයින පුරා ඇතැම් රජයේ ආයතනවල සැලකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව පෙනී ගොස් ඇත. විශේෂයෙන්ම ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල රජයේ නිලධාරින්ගේ හිඟය නිසා ග්‍රාමීය ජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමේදී ඉමහත් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වන බව නිරීක්ෂණය වී ඇත.ගතානුගතික පරිපාලන සංස්කෘතියෙන් ඔබ්බට ගොස් ජනතාව ඉලක්ක කරගත් සේවා සැපයීමේ ක්‍රමවේද හඳුන්වා දීම සඳහා දැනට පවතින ක්‍රමවේදයන් ධනාත්මක ආකාරයෙන් වෙනස් කිරීම පිණිස තරුණ පරපුරේ හැකියාවන් සහ කුසලතාවන් යොදා ගැනීමට හැකි වන අයුරින් 2012 වර්ෂයේ සිට මේ දක්වා විශ්වවිද්‍යාලවලින් පිට වී රැකියා විරහිතව සිටින උපාධිධාරින් 50,000 කට ආසන්න තරුණ තරුණියන්ගේ දායකත්වය ලබාගැනීමට මෙසේ සැලසුම් කර ඇත.

ඒ අනුව, 2019-12-31 දිනට උපාධිය සමත් හා උපාධියට සමාන අධ්‍යාපන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන සුදුසුකම් සපුරා ඇති තරුණ තරුණියන් උපාධිධාරි අභ්‍යාසලාභීන් ලෙස වසරක පුහුණු කාලයකට යටත්ව බඳවාගැනීමට රජය තීරණය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *