හදිසි විදුලි කප්පාදුව ගැන විමර්ෂණයට විශේෂ කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකළ හදිසි විදුලි කප්පාදුව පිළිබද විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කර ඇත.

පසුගිය තුන්වනදා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව දිවයිනේ ඇතැම් පළාත්වලට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකර තිබුණි. මේ හේතුවෙන් පත් වූ අපහසුතා පිළිබද මහජනතාව රජයට දැනුම් දුන්නේය. ඒ පිළිබද සොයා බැලීම සදහා කමිටුවක් පත් කරන ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට නියෝග කර ඇත.

ඒ අනුව විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව පත් කර තිබේ. එහි සෙසු සාමාජිකයන් වන්නේ මහාචාර්ය රාහුල අතලගේ, ඊ ඒ රත්නශීල, සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ය.

ලබන 11 වනදාට පෙර මෙහි විමර්ශන වාර්තාව ලබා දෙන ලෙසද අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *