පොලිස් සැරයන්වරයෙකු ඝාතනය : සැකකරුවන් 02 අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේදී පෙරේදා(06) පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නතිව් , මුණරකට්ට ප්‍රදේශයේ දී තුවාල සහිතව මියගොස් සිටි පොලිස් සැරයන්වරයා පුදූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පී ශිවරාසා නමැති 50 හැවිරිදි සැරයන්වරයා සහ මෙම සැකකරුවන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමකින් පසු ඔවුන් සිදුකළ පහරදීමකින් මරණය සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අදාළ සැකකරුවන් අවුරුදු 31 හා 38 වයස්වල පසුවන ආයිත්තියමල හා නාවක්කාඩු ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් පාපොච්චාරණය කර තිබේ.

ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයා තිදරු පියෙකි.

සැකකරුවන් අද(07) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *