අගමැති, හිටපු ඉන්දීය අගමැති සහ රාහුල් ගාන්ධි හමුව

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ සවස හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ ඉන්දීය කොංග්‍රස් පක්‍ෂ නායක රාහුල් ගාන්ධි යන මහත්වරුන් හමුවිය.

ඒ නවදිල්ලි අගනුවරදී. මහින්ද රාජපක්‍ෂ මහතා සහ මංමෝහන් සිං මහතා අතර සාකච්ජාවේදී දෙරටට බලපාන කරුණු රැසක් කෙරෙහි අවධානය යොමුවිය. ඉන්දීය කොංග්‍රස් පක්‍ෂ නායක රාහුල් ගාන්ධි මහතා ද මේ අවස්ථාවට එක්වූහ.

මේ අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අද උදේ නවදිල්ලි ගුවන් තොටුපළේ සිට විශේෂ ගුවන් යානයකින් වාරානාසි බලා පිටත්ව ගියේය. ලාල් බහදූර් ශාස්ත්‍රී ගුවන් තොටුපළින් වාරානාසි නගරයට පැමිණි අග්‍රාමාත්‍යවරයාට ගුවන් තොටුපළේදී විශේෂ පිළිගැනීමක් සංවිධාන කර තිබිණ. අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා දූත පිරිස කාශි විශ්වනාත් හින්දු දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරත වූහ.

ගංගා නදියේ බටහිර ඉවුරේ මෙම පූජනීය ස්ථානය පිහිටා තිබේ. ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන හින්දු දේවස්ථානවලින් මෙය වඩාත් ප්‍රචලිතයි. දේවස්ථානය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඉන් පිටවන අවස්ථාවේ ඉන්දීය ජනතාව මහත් හරසරින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට උපහාර දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *