ඔලිම්පික් යන පිහිනුම් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ධජය තහනම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට පනවා ඇති ජාත්‍යන්තර තහනම තවමත් ක්‍රියාත්මක බැවින් මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට පිහිනුම් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක සහභාගී වන්නේ නම් ශ්‍රී ලංකා ධජය යටතේ සහභාගීවීමේ අවස්ථා අහිමි වෙයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙද්දී ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ තහනම තවදුරටත් ක්‍රියාත්මකව පැවැතිය හොත් ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ධජය යටතේ පමණක් සහභාගී විය යුතුය.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට ජාත්‍යන්තර තහනමක් පැනවූ අතර එය මේ වනතෙක් ඉවත්කර ගැනීමට නොහැකිව තිබේ. ජාත්‍යන්තර සම්මේලනයට කිසිදු දැනුම් දීමකින් තොරව හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් අතුරු කමිටුවක් පත් කරනු ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තහනම් කිරිමට ජාත්‍යන්තර ජල ක්‍රීඩා සම්මේලනය (FINA) තීරණය කළේය. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ හිටපු නිළධාරින් පිරිසක් ලෝක සම්මේලනයට කළ දැනුම්දීමක් මත මෙම තහනම පැනවූ අතර ඔවුන් ජාත්‍යන්තර ජල ක්‍රීඩා සම්මේලනයට පෙන්වාදී තිබුණේ ජල ක්‍රීඩා නිලවරණය නොපවත්වා තාවකාලික අතුරු කමිටුවක් පත්කිරීම නීති විරෝධී වන බවය.

එහෙත් පසුව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිළවරණයක් පැවැති අතර විධිමත් නිළධාරී මණ්ඩලයක් ද පත්විය. මේ අතරතුරදී ක්‍රීඩා ඇමැතිවරයා හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර ලුසියානා හී පැවැති සාකච්චාවකදී ක්‍රීඩා පනතේ ඇතැම් වගන්ති ඉවත් කරමින් ක්‍රීඩා පනත සංශෝධනය කරන බව පැවැසූ හෙයින් එය ඉටුකරන තෙක් ජල ක්‍රීඩා සංගමයේ තහනම ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇත.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා පනත සංශෝධනයට අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළ අතර පනත සංශෝධනයට අවශ්‍ය පියවර නොගැණුනි.

දිගින් දිගටම පැවැති සාකච්ඡා අනුව ක්‍රීඩා පනතට අවශ්‍ය නීති කෙටුම්පත් කළ ද එය යථාර්තයක් බවට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හැකියාවක් නොවීය.

ලෝක ජල ක්‍රීඩා සංගමය, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් සාමාජික සංගමයක් බැවින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නියෝගයක් නිකුත් කරන තුරු තහනම ඉවත් කිරීමේ හැකියාව ලැබී නොමැති බව පැවැසේ. එහෙත් ලෝක ජල ක්‍රීඩා සම්මේලනය හා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය යම් අවබොධයක් ඇතිව ක්‍රියාත්මකව සිටින බව ජල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයකු පැවැසීය.ලෝක ජල ක්‍රීඩා තහනම පැනවීමත් සමගම ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියෙන් ඉවත්වීමද සිදු විය.

මෙයට වසරකට පමණ පෙර ක්‍රීඩා ඇමැතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් සකස් කොට තිදෙනකුගෙන් යුත් අතුරු කමිටුවක් පත්කළ අතර ඒ වෙද්දී ජල ක්‍රීඩා සංගමය තම සාමාජිකයින් වෙත නිලවරණ නිවේදනයක් ද යවා තිබිණි.

නිලවරණය පැවැත්වීමට සියල්ල සූදානම්ව තිබියදී ඇමැතිවරයා විසින් ඔහුගේ අභිමතය පරිදි අතුරු කමිටුවක් පත් කිරීම ක්‍රීඩාව දේශපාලනීකරණය වීමක් බව ලෝක ජල ක්‍රීඩා සංගමයේ අදහස විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *