‘ගුවන්සේවාවට සයිබර් ආරක්ෂාව‘ මැයෙන් ජාත්‍යන්තර වැඩමුළුවක් ශ්‍රී ලංකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) – වාර්ෂිකව වර්ධනයට ලක්වන ලෝක ගුවන්සේවාවට සමගාමීව දකුණු ආසියානු කලාපීය සිවිල් ගුවන්සේවා කර්මාන්තය ද ඉහළ වර්ධනයක් අත්කරගනී. එය ප්‍රතිශතාත්මකව විමසා බැලීමේ දී ඉදිරි වසර 20 සඳහා 8.6% ක පමන අගයක් ගනු ඇති බව ගුවන්සේවා පුරෝකථනයන්ට අනුව පෙන්වා දී ඇත.

වාර්ෂිකව අත්කරගන්නා මෙම ගෝලීය වර්ධනයට, ලෝවාසීන් අතර ගුවන් ප්‍රවාහනය පිළිබඳව විශ්වසනීයත්වයක් ඇතිකිරීම සඳහා ගුවන්සේවා නියාමන ආයතන විසින් හඳුන්වා දී ඇති අනුමත ප්‍රමිතීන් හා නිර්දේශිත පරිචයන් මහෝපකාරී වී ඇත. ලොව අනෙකුත් සේවාවන් සඳහා පරිඝණක යෙදුම් භාවිතය බෙහෙවින් සමීප වී ඇතිවා සේම ගුවන්සේවාවට ද සඳහා පරිගණක යෙදුම් භාවිතා කිරීම ඔස්සේ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකිවී ඇත. ඉතා ඉහළ කළමණාකාරීත්වයෙන් යුතු සුරක්ෂිත, ආරක්ෂිත මෙන්ම පරිසර හිතකාමී ගුවන්සේවාවක් ලොවට දායාද කිරීමට පරිගණක යෙදුම් භාවිතය දක්වන්නේ අනුපමේය සේවාවකි.

පරිගණක ආශිත මෘදුකාංග ඔස්සේ ගුවන්සේවා කර්මාන්තයේ සියළු මෙහෙයුම් කළමණාකරන කටයුතු සිදුකරනු ලබන අතර එම පද්ධතීන්ට විවධ පාර්ශවයන්ගෙන් එල්ල වන අභියෝග මෙන්ම තර්ජන හමුවේ වඩාත් ස්ථාවර මානව හිතකාමී කර්මාන්තයක් ලොවට දායාද කිරීම පිළිබඳව නිරන්තරයෙන්ම අවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වේ. මෙහි වටිනාකම හඳුනාගත් යුරෝපීය කොමිසම (European Commission) යටතේ ක්‍රියාත්මක වන යුරෝපා දකුණු ආසියානු ගුවන්සේවා සහයෝගීතා ව්‍යාපෘතිය (EU-South Asia Aviation Partnership)විසින් යුරෝපීය ගුවන්සේවා සුරක්ෂිතතා ඒජන්සිය (EASA) සමගින් එක්ව ගුවන්සේවාවේ මෙහෙයුම් ක්‍රියාදාමය සඳහා පරිගණක ආශ්‍රීත මෘදුකාංග යෙදුම් භාවිතය හා එහි ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු ක්‍රියාදාමයන් පිළිබඳ වැඩමුළුවක් ශ්‍රී ලංකාවේ දී සංවිධානය කර ලදි.

ගිනිකොන දිග ආසියානු රටවල් කේන්ද්‍ර කරගනිමින් තෙදිනක් පුරා පැවැත්වෙන මෙම වැඩමුළුවෙහි සමාරම්භක අවස්ථාව එහි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි එච්. එම්. සී. නිමල්සිරි, යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 05 දින පැවති අතර සම්පත් දායකයන් ලෙස යුරෝපීය ගුවන්සේවා සුරක්ෂිතතා ඒජන්සියේ ප්‍රවීනයන් දෙදෙනෙකු සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ සභාපති උපුල් ධර්මදාස මහතා වර්ථමානය වන විට පරිගණක ආශිත මෘදුකාංග ඔස්සේ ගුවන්සේවා කර්මාන්තයේ සියළු මෙහෙයුම් කළමණාකරන කටයුතු සිදුවන හෙයින් සයිබර් ආරක්ෂාව පිළිබඳව වඩා සැලකිළිමත්ව කටයුතු කල යුතු ආකාරයත් එමගින් රටක් ලෙස මෙන්ම කලාපීය හා ගෝලීය වශයෙන් ද ගුවන්සේවා කර්මාන්තයේ යහ පැවැත්ම කෙරෙහි සෘජුව බලපාන අන්දමත් පෙන්වා දෙන ලදි.

දකුණු ආසියානු, ගිනිකොන දිග ආසියානු රටවල් 13 කට අයත් ගුවන්සේවා නියාමන ආයතන වල නියෝජිතයන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ගුවන්සේවා නියාමන සහ මෙහෙයුම් ආයතනයන්හි නියෝජිතයන් පිරිසක් සහභාගී වන මෙම වැඩමුළුව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සංවිධානය යටතේ පෙබරවාරි 07 දින තෙක් එම අධිකාරියේ දී පැවැත්වේ.

ගුවන්සේවාවේ මෙහෙයුම් ක්‍රියාදාමය සඳහා පරිගණක ආශ්‍රීත මෘදුකාංග යෙදුම් භාවිතය, එම භාවිතයන් සඳහා ඇතිවිය හැකි අවධානම් තත්වයන්, එවැනි අවධානම් තත්වයන්ගෙන් මිදී කටයුතු කල හැකි ආකාරය, මෙම ක්ෂේත්‍රය හා සබැඳි නව ප්‍රවනතාවයන් සහ සොයාගැනීම් වැනි කරුණු පිළිබඳව මෙම වැඩමුළුව පැවැත්වෙන තෙදින පුරා කරුණු සැකච්ඡා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *