රැකියාවලට ගැළපෙන සරසවි විෂය නිර්දේශයක් සඳහා ජනපතිතුමාගේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) – සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වනපරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්වවිද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග ඊයේ(10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේ ය.

උසස් බුද්ධියකින් යුත් නවීන තාක්ෂණය සමග පෙරට යා හැකි ශ්‍රම බලකායක් අපේ රටේ සිටිති. සරල ක්‍රම තුළින් රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් ඔවුන් හැඩ ගැස්වීමේ හැකියාව අප සතු බව තමා තරයේ විශ්වාස කරන්නේ යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්ත හා වැවිලි සහ තාක්ෂණය මුල්කරගත් රැකියා උත්පාදනයෙන් රටට වේගවත් ආර්ථික වර්ධනයක් ලඟාකරගත හැකිය. වෛද්‍ය, ඉංජිනේරු, හෙද සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා විශාල ප්‍රමාණයක් ඇත. ඊට සුදුසු පිරිසක් විශ්වවිද්‍යාල තුළින් බිහි නොවීම බරපතල ගැටලුවකැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මේ සියල්ල සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සමත් වන දරුවන්ට තෘතීයික අධ්‍යාපනය ලබාදිය යුතුය. කලා උපාධි පාඨමාලා සමග තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට සැලැස්වීමෙන් ඉදිරි තෙවසර තුළ කඩිනම් ප්‍රගතියක් අත්කරගත හැකි බව ද ජනාධිපතිතුමා පැවසීය.

“පාසලේ සිට උපාධිය දක්වා සෑම දරුවෙකුටම නායකත්වය පිළිබද පරිචයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව ලබාදීම වැදගත්. ඒ සඳහා විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එන විරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” ජනාධිපතිතුමා උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජනමත විමසුමකට හෝ යා යුතු බවත්, එවිට ආණ්ඩු හෝ ඇමතිවරු මාරු වන විට ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

“පාඨමාලා අනුව සිසුන් බඳවා ගැනීමේ අයිතිය විශ්වවිද්‍යාලවලට තිබෙන්න ඕන. නව විශ්වවිද්‍යාල බිහි කිරීම සහ පවතින අඩු පාඩු විසඳීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයක්. නව පාඨාමාලා සදහා සිසුන් යොමු කිරීමේ මාර්ගෝපදේශනයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි පරිශ්‍ර යොදා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පිළිවන්”. ජනාධිපතිතුමා පැවසීය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී පාඨමාලාව හදාරන සිසුන්ට නීති විද්‍යාලය පනවා ඇති ඇතැම් රෙගුලාසි ඉවත් කරන්නැයි ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල පරිපාලනයට සීමා නොවී සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට වගකියන සහ සොයා බලන ආයතනය බවට පත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල සදහා වෙන් කරන ප්‍රතිපාදන විශාල ගොඩනැගිලි ඉදිකිරීමට වැය කරනු වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන පර්යේෂණ සහ අධ්‍යයන මෙන්ම තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැය කිරීමේ වැදගත්කම එතුමා පැහැදිළි කළේය.විශ්වවිද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සදහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු සහ සියලු විශ්වවිද්‍යාලවල කුලපතිවරු සහ උපකුලපතිවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *