ඉදිරියේ දී දේශීය උළුමෝල් හිමියන්ට සහනදායි පොලී ණයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි අයවැය තුළින් දේශීය උළුමෝල් හිමියන් සදහා සහනදායි පොලී ණය මුදලක් ලබා දීමේ යෝජනාවක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය උළු කර්මාන්ත හිමියන් සමග පැවති විශේෂ හමුවකට සහභාගී වෙමිනි. මෙම හමුව පුත්තලම දිස්ත්‍රික්කයේ වයික්කාල,රිවෝරිච් හෝටලයේ දී පැවැත්විණි.

සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මෙම හමුව සංවිධානය කර තිබූ අතර මේ සදහා පුත්තලම දිස්ත්‍රික්කය සහ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් දේශීය උළු කර්මාන්ත හිමියන් සහභාගි වූහ.

“රජයේ නිවාස වැඩසටහනට උසස් ප්‍රමිතියෙන් යුතු උළු ලබා දෙමින් උළු හිමියන්වන ඔබගේ සහය අපට ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. එක නිවසකට උළු කැට 1,200 ක පමණ ප්‍රමාණයක් අව්‍යශ වනවා. නිවාස 14,022 ටම එම ප්‍රමාණය අවශ්‍යයි. ඉදිරි අයවැය තුළින් දේශීය උළුමෝල් හිමියන් සදහා සහනදායි පොලී ණය මුදලක් ලබා දෙන්න කටයුතු කරන්නට කියා මා ජනාධිපතිතුමාට යෝජනාකරනවා” යනුවෙන්ද ඇමතිවරයා සදහන් කළේය.

දේශීය උළු කර්මාන්ත හිමියන් මුහුණ දෙන ගැටළු පිළිබදව මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඒ පිළිබදව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කර ඉදිරියේදී ඊට කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *