(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ආකර්ෂණය දිනාගත් ලොව හොඳම ගමනාන්තයක් බවට යළිත් වරක් තහවුරු කරමින් මේ වසරේ පළමු මාසයේ දී විදෙස් සංචාරකයන් 228,434 දෙනෙකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එම අගය පසුගිය වසරේ ජනවාරි මාසයේ පැමිණි 244,239 ට සාපේක්ෂව සියයට 6.5 කද පහළ යෑමක් වුවද සංචාරක පැමිණීම සම්බන්ධයෙන් ඇතිවූ විවිධ තත්ත්වයන් සහ ලෝකයේම සංචාරක කර්මාන්තයට බලපා තිබෙන අභියෝග හමුවේ මෙය සැලකිය යුතු ප්‍රගතියක් බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.
පසුගිය 2019 වසරේ දී විදේශීය සංචාරකයන් 1,913,702 දෙනෙකු මෙරටට සංචාරය සඳහා පැමිණ තිබෙන බව පෙන්වාදෙන එම අධිකාරිය එම වසරේ අප්‍රේල් මාසයේ 21 වැනි දා මෙරට ප්‍රධාන පෙළේ හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් සංචාරක පැමිණීම සීඝ්රයෙන් පහත වැටුණු බවද මේ වසරේ දී ලෝකයේ රටවල් රැසකට බලපා තිබෙන කොරෝනා වෛරස් ආසාධන තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවද පෙන්වා දෙයි.