මාලඹේ කාර්මික තාක්ෂණික ආයතනය විශ්වවිද්‍යාලයක් කරනවා

(කොළඹ, ලංකාපුවත්) – මාලඹේ පිහිටි කාර්මික තාක්ෂණික ආයතනය ‘කාර්මික තාක්ෂණික විශ්වවිද්‍යාලයක්’ බවට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කෙළේ ඊයේ(11) එම ආයතනයේ නව සභාපති වශයෙන් පත් වූ ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර මහතාගේ රාජකාරී භාර ගැනීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අැමැතිවරයා මෙසේද පැවසීය.

ඊයේ ජනාධිපතිතුමා සියළු ම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හමුවුණා. එතුමාගේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව ඔවුන්ට පැහැදිලි කළා. එහි සිදු විය යුතු වෙනස්කම් සීඝ්‍රයන් සිදු විය යුතු බවත් සාම්ප්‍රදායික සහ යල් පැනගිය ප්‍රතිපත්ති, විෂය මාලා මෙන්ම ඉගැනුම් ක්‍රමවේදයන් ද නව්‍ය ලෝකයට ගැලපෙන පරිදි සැකසිය යුතු බව පෙන්වා දුන්නා. පුහුණු උගත් මානව සම්පත වැඩි වශයෙන් නිර්මාණය කළ යුතු බව ද එතුමා සිහිපත් කළා.

නමුත් කාර්මික තාක්ෂණික විශ්වවිද්‍යාලයක් බිහි කිරීම තුළින් එය අපේ රටේ අනෙකුත් සෑම විශ්වවිද්‍යාලයක්ම අභිබවා ඉහළටම පැමිණිය හැකි විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. එය ඉතා වේගයෙන් කරන්නට පුළුවන්. මෙම ආයතනය වෙනම විශ්වවිද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන යෑමටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නොවුනත් ඒ ඒ නිර්ණායකයන් සපුරන නමුත් ස්වයංව ක්‍රියාත්මක විය හැකි අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් කිරිම ඉතාම පහසුයි. අවශ්‍ය භෞතික සහ යටිතල පහසුකම් තිබෙනවා. ඒවාගේ ම ආචාර්ය මණ්ඩල සංයුතිය ද ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. ඒ අනුව ජාතික සහ ජාත්‍යන්තර සිසුන් ඇද බැඳ තබා ගන්නා විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට සභාපතිතුමාට ශක්තිය ලබා දෙන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්න කැමතියි.

ඒවගේ ම පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි ලබා දීමට අවශ්‍ය අනුමැතිය ද ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ අනුව ලාභ අපේක්ෂාවක් නොමැතිව අතිරික්තය ආයතනයේ සංවර්ධනයටම යොදා ගන්නා ආයතනයක් ලෙස ස්වයං තීරණ ගත හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතුයි. 100%ක්ම රාජ්‍ය අයිතිය තහවුරු කෙරෙන ආයතනයක් විය යුතු අතරම විදේශ සිසුන්ට ද අධ්‍යාපනය ලබා දිය හැකි ජාත්‍යනතර විශ්වවිද්‍යාලයක් වීම වැදගත්.

මෙම අවස්ථාව සඳහා තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, කාර්මික තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රාධිකා සමරසේකර මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *