ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීම දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීම දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

මේ සඳහා වූ යෝජනාව සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර ඇත.

අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ දැනටමත් අනුමත කර ඇති රටවල් 48 සඳහා 2020 පෙබරවාරි 01 දින සිට 2020 අප්‍රේල් 30 දින දක්වා තවත් මාස 03ක කාල සීමාවක් සඳහා දීර්ඝ කෙරෙන බවයි.

එම නිදහස් වීසා නිකුත් කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු 01 වැනිදා සිට මාස 06ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීම පිණිස 2019 ජූලි 30 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බවත් ඒ අනුව, නිදහස් වීසා වැඩසටහන ක්‍රියාත්මක වූ කාලපරිච්ඡේදය තුළ දී මෙකී රටවල්වලින් මෙරටට පැමිණෙන සංචාරකයින් 10%- 12% ක වර්ධනයක් සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *