කොරෝනා හේතුවෙන් ඊයේ දිනයේ පමණක් මරණ 242ක්

(කොළඹ, ලංකාපුවත්) – නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,367 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් 242 දෙනෙකු මියගොස් ඇති අතර, වෛරසය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා දිනෙක වාර්තා වූ ඉහළතම මරණ සංඛ්‍යාව එයයි.

එසේම මේ වන විට වෛරස ආසාදිතයින් 60,280 දෙනෙකු වාර්තා වී තිබේ. වෛරස් ආසාදිතයින් 14,840ක් අලුතින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉදිරි සති කිහිපය තුළ වෛරසය එහි උච්ඡතම අවස්ථාවට පැමිණෙනු ඇතැයි විශේෂඥයින් පවසයි.

කෙසේ වෙතත්, ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ, මරණ අනුපාතිකය ක්‍රමයෙන් පහළ යාමක් පෙන්නුම් කරන බවය.

චීනයේ හුබෙයි ප්‍රාන්තය තුළ වෛරස ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇත්තේ, අදාළ ප්‍රදේශ තුළ රෝග විනිශ්චය කිරීමේ වැඩපිළිවෙළ වඩාත් පුළුල් කිරීමත් සමගය. ඊයේ වන විට නව කොරෝනා වෛරසය කොවිඩ් 19 ලෙස නම් කෙරිණ.

කෙසේ වෙතත් වසංගතයේ අවසානය පිළිබඳ පුරෝකතනය කිරීමට තවමත් කල් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *